January 30, 2025

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ඉල්ලීම පරිදි සංක්‍රමණය සඳහා වන අන්තර්ජාතික සංවිධානය (IOM), විදේශ රටවල ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල මගින් විදේශ ගමන් බලපත්‍ර නිකුත්කිරීම හා කාළය දිගුකිරීමේ කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ කඩිනමින් සිදුකරගැනීමට අදාළ සාකච්ජාවක් 2025.01.28 දින විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ දී පවත්වා ඇත.

එහිදී සංක්‍රමණය සඳහා වන අන්තර්ජාතික සංවිධානය (IOM) නියෝජනය කරමින් එම සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානී ක්‍රිස්ටීන් පාර්කෝ අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇත්තේ, මෙම වසර අවසානයට ප්‍රථම විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය විසින් තෝරාගනු ලබන තානාපති කාර්යාල 20ක් මෙම ඔන්ලයින් ව්‍යාපෘතියට සම්බන්ධකර ගන්නා අතර, මේ සඳහා සියලු ප්‍රදානයන් ජපන් රජය විසින් ලබාදෙන බවයි.

දැනට විදේශගත ශ්‍රී ලාංකිකයන් මුහුණදී ඇති බරපතල ගැටඵවක් වන විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ දී ගතවන අධික කාලයට විසඳුමක් ලෙස යෝජිත මාර්ගගත ක්‍රමය ඔස්සේ අයැදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමුකිරීමත් ඇඟිලි සලකුණු ලබාගැනීමත් තානාපති කාර්යාලය තුළදීම සිදුකෙරෙනු ඇත.

පළමු අදියර යටතේ තානාපති කාර්යාල 20ක මෙම මාර්ගගත ක්‍රමය හඳුන්වාදීම නිමාකළ පසු ඉදිරි කාලයේදී මෙම සේවාව සෙසු තානාපති කාර්යාලවලට ද ව්‍යාප්ත කරන මෙන් අමාත්‍යවරයා ක්‍රිස්ටීන් පාර්කෝගෙන් ඉල්ලා ඇති අතර, ඒ සඳහා සංක්‍රමණය සඳහා වන අන්තර්ජාතික සංවිධානයේ (IOM) සම්පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බව එම ඇය අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇත.

42.31%
17.27%
32.76%