December 16, 2023

ආබාධිත පුද්ගලයන් භාවිත කරන කිහිලිකරුවලට පවා වැට් බද්ද පනවා ඇති බැවින් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැඩි තර්ජනයක් වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය(GMOA) ප්‍රකාශ කරයි.

GMOA මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසන්නේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ භාණ්ඩ කිහිපයකට සියයට 18ක නව බද්දක් පැනවීම මෙතෙක් බදු අය නොකළ භාණ්ඩ සඳහා වන අතර එය බරපතල අර්බුදයක් ඇතිකරන බවයි.

ගිලන්රථ, ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය, වෛද්‍ය උපකරණ, අධි තාක්‍ෂණික වෛද්‍ය උපකරණ සහ ආබාධිත පුද්ගලයන් භාවිතා කරන ඇවිදීමේ ආධාරක, ශ්‍රවණාධාර වැනි සියලුම උපකරණ ජනවාරි මාසයේ සිට නව බද්දට යටත් වේ.

“සෞඛ්‍ය ක්ෂේත්‍රයට අනවශ්‍ය බරක් පැටවීමෙන් රෝගීන්ට ලැබිය යුතු ප්‍රතිලාභ පිළිබඳ ප්‍රශ්න ඇතිවෙනවා.අපි හැමදාම කියන විදියට මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතළ තත්ත්වයකට මුහුණ දෙනවා. අවසානයේදී, ජනතාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීමට බැඳී සිටින රජයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාදාමයන් එම ජනතාවගේම ජීවිත අනතුරේ හෙළනවා.” යැයි GMOA මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වාදෙයි.

බදු වැඩි කිරීම හේතුවෙන් තවත් වෛද්‍යවරුන් පිරිසක් රට හැර යනු ඇතැයිද වෛද්‍ය විජේසිංහ වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%