July 3, 2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පි උද්දික පේමරත්නගේ මෝටර් රථයට වෙඩිතැබූ දිනයේ ඒ ආසන්නයෙන් සුදු පැහැති මෝටර් රථයක් ගමන් ගන්නා අයුරු සටහන්ව ඇති සී.සී.ටී.වී. දර්ශන රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා රස පරීක්ෂක වාර්තාව නොපමාව කැදවීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

සී.සී.ටී.වී. දර්ශනවල සටහන් වී ඇති සුදු පැහැති මෝටර් රථය වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට සැකකරුවන් පැමිණි මෝටර් රථය බවට සැක මතුවී ඇති හෙයින් ඒ බව තහවුරු කර ගැනීමට අදාළ සී.සී.ටී.වී. දර්ශන වල රස පරීක්‍ෂක වාර්තාව කැඳවීමට නියම කරන්නැයි රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල මෝෂමක් මාර්ගයෙන් කැඳවනු ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්හ.

උද්දික ප්‍රේරමරත්න ගමන්ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වූ දිනයේ ඒ ආසන්නයේ මාර්ගයක සුදු පැහැති මෝටර් රථයක් ගමන් ගන්නා අයුරු සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව ඇතැයිද අදාළ මෝටර් රථය වෙඩි ප්‍රහාර එල්ල කිරීමට සැකකරුවන් පැමිණි මෝටර් රථය බවට සැක කරන්නේ යැයි ද කී නිලධාරිහු එහෙත් එම කරුණ ස්ථිරවම තහවුරු කර ගැනීමට තරම් අදාළ සී.සී.ටී.වී. දර්ශන පැහැදිලි තත්වයේ නැතැයි ද කීහ.

එහෙයින් අදාළ සී.සී.ටී.වී. දර්ශන රජයේ රස පරික්ෂකවරයා වෙත යවා මෝටර් රථය බවට මතුවී ඇති සැකය තහවුරු කර ගැනීමට අදාළ සී.සී.ටී.වී. දර්ශනවල රස පරීක්‍ෂක වාර්තාව කැඳවීමට නියම කරන්නැයි රහස් පොලිස් නිලධාහු ඉල්ලා සිටියහ.

රහස් පොලිසියේ ඉල්ලීමට අවසර දුන් මහෙස්ත්‍රාත්වරයා රස පරීක්ෂකවරයාගේ වාර්තාව සහ විමර්ශනවල ප්‍රගතිය නොපමාව අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට නියම කළේය.

මේ අතර, උද්දික ප්‍රේම­රත්නගේ මෝටර් රථ­යට වෙඩිතැබීම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සූදා­නම් වන විට මැලේසි­යාව බලා පළා­ගිය සහ­කාර පොලිස් අධි­කාරී සංජීව මහ­නාම මේ වන විට එරට සිට වෙනත් රට­කට ගොස් ඇතැයි වාර්තා වේ.

මේ තොරතුර සම්බන්ධයෙන් මේවන විටත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ජනමාධ්‍ය වාර්තා කරයි.

පවුලේ සාමාජිකයන් සමග මැලේ­සි­යාවට පළාගිය ඔහු එරට සති­ය­කට වැඩි කාල­යක් ගත­කර නොමැති බවට විවිධ තොර­තුරු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ලැබී ඇතැයි වාර්තා වේ.