January 20, 2025

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ආරක්ෂකයකු බව හෙළිදරව් කරමින් උතුරු මැද පළාතේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශ්ශංක දිසානායක නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට ඊයේ (16) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට පැමිණි හෙතෙම ජනමාධ්‍යයට පැවසුවේ, මෙම ඝාතනය සිදුකළ බෝම්බකරු කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සිටි උමර් හබ්තාප් නමැති මුස්ලිම් ජාතිකයා බවයි.

කීර්තිමත් හමුදා නිලධාරියකු වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා 2001 වසරේදී හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්, ඉන්දුනීසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර, අනතුරුව දේශපාලනයට ප්‍රවේශ වන්නේ එවකට පැවැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොදු පෙරමුණු අණ්ඩුවට එරෙහිව විපක්ෂයේ හිඳිමිනි.

ඔහු උතුරුමැද පළාත් සභාවේ විපක්ෂ නායකයාව හිඳ මහඇමැති අපේක්ෂක ධුරය අපේක්ෂා කරමින් පළාත් සභා මැතිවරණ සටන දියත් කරන අතරතුර අනුරාධපුර ඔහුගේ මැතිවරණ කාර්යාලය තුළදී එල්ලවන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කෙරිණි.

“උතුරේ හිටපු මන්ත්‍රීවරයෙක් වන රාජා කූනේස්වර යන මන්ත්‍රීවරයා ඊ. පී. ආ.ර් එල්. එෆ්. (EPRLF) සංවිධානයේ උමර් හබ්තාප් නම් මුස්ලිම් ජාතිකයෙක් මට ගෙනත් භාරදුන්නා. මම ඔහුව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට ගිහින් භාරදුන්නා. ඔහු අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ තමා හිටියේ. එතන ගොඩක් සිද්ධි සංවිධානය වුණා” යැයි ද පැමිණිලිකරු මෙහිදී ජනමාධ්‍ය හමුවේ කීවේය.

“මෙම සිද්ධියට මැදවච්චිය පොලිසියේ සී.අයි විමලසිරි සම්පූර්ණයෙන්ම සහයෝගය දැක්වූවා. මෙම ඝාතනය කරලා යන වෙලාවේ උමර් හබ්තාප් ළඟ තියාගෙන එයාට තුවක්කු ලබාදීලා ආරක්ෂාව දීලා තිබුණා. මේක සම්පූර්ණයෙන්ම දිසානායක කියන ඕ.අයි.සී. තමයි කළේ. ඒවා හෙළිකරනකොට මට බොරු නඩු දැම්මා. මම දැන් ඒවගෙන් නිදොස් කොට නිදහස් වුණා” යැයි ද ඔහු කීවේය.

“ජානක පෙරේරාගේ සිද්ධිය වෙලාවේ උමර් හබ්තාප් මටත් කතා කළා ඒ රැස්වීමට යන්න. නමුත් මම ඒ වෙලාවේ දේශපාලනයෙන් උදව් කරා විතරයි. මම වෙනුවට මගේ මාමා කෙනෙක්ව එදා මැදවච්චිය ආසනයට දාලා තිබුණා. ඒ නිසා එදා සිද්ධියට මට මුහුණ දෙන්න වුණේ නෑ. උමර් කතාකළේ මාවත් මරන්න. නමුත් බැරි වුණා. උමර් අවුරුද්දක් බන්ධනාගාරයේ ඉඳලා එළියේ හිටියා කියන්නත් මම දන්නවා. මොකද ඒ කාලයේ ළමයෙක් එයාට ඉන්නවා. අවුරුද්දක් එළියේ හිටපු බවට සාක්ෂියක් විදිහට. ඩීඑන්ඒ පරීක්ෂා කිරීමට හැකියාව තිබෙනවා. ඔහුට මැදවච්චිය පොලිසියෙන් තුවක්කු දීලා තිබුණා. උමර් මහාමාර්ග නේවාසිකාගාරයක තියාගෙන තමා පරීක්ෂණ කටයුතු සිදු කළේ.” මෙම පුද්ගලයා සම්බන්ධව හරි ආකාරව පොලිසියට රැගෙන ගොස් විමර්ශන කටයුතු සිදුකළේ නැතැයිද හෙතෙම කීවේය.

වත්මන් නව ආණ්ඩුවෙන්වත් මේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් බලාපොරොත්තු වන බව ද හිටපු උතුරුමැද පළාත් සභා මන්ත්‍රී නිශ්ශංක දිසානායක වැඩිදුරටත් සඳහන් කළේය.(දිනමිණ)

42.31%
17.27%
32.76%