February 5, 2024

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති බැවින් වත්මන් තත්ත්වය තුළ නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ හැකියාවක් නොමැති වුවද ලියාපදිංචි දේශපාලන පක්ෂ සමඟ සන්ධානගත වීමට දේශපාලන කණ්ඩායම්වලට බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිසමේ සභාපති R.M.A.L. රත්නායක කියාසිටියේ මැතිවරණ කොමිසම විසින් කිසියම් ඡන්ද විමසීමක් ගැසට්කර ඇති විට අලුතින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කළ නොහැකි බවයි.

“මැතිවරණයක් ගැසට්කර ඇත්නම් එම මැතිවරණය පැවැත්වෙනතුරු අපට නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කළ නොහැකියි. අපි සාමාන්‍යයෙන් ජනවාරි මාසයේදී නව දේශපාලන පක්ෂවලින් ලියාපදිංචිය සඳහා අයදුම්පත් කැඳවනවා. නමුත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති නිසා පසුගිය වසරේ සහ මේ වසරේ එය සිදුකළේ නැහැ” යැයි ඔහු සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනතුරු දේශපාලන පක්ෂ අලුතින් ලියාපදිංචි කළ නොහැකි වුවද, අලුතින් පිහිටුවන ඕනෑම දේශපාලන කණ්ඩායමකට ලියාපදිංචි දේශපාලන පක්ෂයක් සමඟ සන්ධානගත වී මැතිවරණයකට ඉදිරිපත් විය හැකි බව ඔහු පැවසීය.

එවැනි සන්ධාන ඇති වූ විට ලියාපදිංචි නොවන දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වන අපේක්ෂකයන්ට ලියාපදිංචි දේශපාලන පක්ෂයක් යටතේ තරග කිරීමට සිදුවන බවද ඔහු කියා සිටියේය.

මෙම වසරේ සහ ලබන වසරේ පිළිවෙළින් ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබීමත් සමඟ නව දේශපාලන පක්ෂ, ව්‍යාපාර සහ සන්ධාන සහ මැතිවරණ අපේක්ෂකයන් පිළිබඳ මේ වනවිට කතාබහට ලක්වෙමින් තිබේ.

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර විපක්ෂයේ මන්ත්‍රීවරුන් බවට පත් වූ ඇතැම් මන්ත්‍රීවරුන් උත්තර ලංකා සභාගය සහ නිදහස් ජනතා සන්ධානය වැනි නව දේශපාලන කණ්ඩායම් පිහිටුවා ඇති අතර තවත් සමහරක් සිවිල් ක්‍රියාකාරීන් විසින් පිහිටුවාගෙන ඇත.

පළාත් පාලන මැතිවරණය මුලින් 2023 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සහ මහා භාණ්ඩාගාරය විසින් මැතිවරණ කොමිසම වෙත අවශ්‍ය අරමුදල් නිකුත් කර නොතිබිණි.

යළි 2023 අප්‍රේල් මාසයේ දී මැතිවරණ කොමිසම එම මැතිවරණය නැවත සැළසුම් කළේය.

ඒ වන විටත් අවශ්‍ය අරමුදල් නිදහස් කර නොතිබූ අතර,එබැවින් මැතිවරණ කොමිසම නැවත වරක් එම ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්දැමීය.(The Morning)

42.31%
17.27%
32.76%