September 4, 2024

රට හැරයෑමට ඉක්මන් නොවන්නැයි ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ, තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින අතර රට ඩිජිටල්කරණය කරා ප්‍රගතියක් ලබමින් පවතින බව පැවැසීය.

ඔහු මේ බව කියාසිටියේ පසුගියදා කොළඹදී පැවති වෘත්තීයවේදීන් සමඟ පැවැති හමුවකදී අදහස් දක්වමිනි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දිගු පෝලිම් පිළිබඳව වෘත්තිකයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියාසිටියේ සති දෙකකින් නව විද්‍යුත් ගමන් බලපත්‍රය ලබාගැනීමට හැකි වනු ඇති බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මතු වූ ගැටලු සම්බන්ධයෙන් සමාව අයැද සිටි ජනාධිපතිවරයා, සාම්ප්‍රදායික විදේශ ගමන් බලපත්‍රයෙන් ඊ-පාස්පෝට් වෙත රජය සංක්‍රමණය වන බව පැහැදිලි කළේය.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් පිළිගත් ඔහු රජය වෙනුවෙන් එහි වගකීම භාරගත්තේය.

වත්මන් විදේශ ගමන් බලපත්‍ර හිඟය සම්බන්ධයෙන් විවේචන එල්ල වුවද, ඔක්තෝම්බර් මාසය වන විට සෑමදෙනාගේම විද්‍යුත් ගමන් බලපත්‍ර ලබාගැනීමටත්, ගැටලුව විසඳන බවටත් ජනාධිපතිවරයා සහතික විය.

ඉදිරි සති දෙක තුළ තවත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින අතර, දැනට පවතින විදේශ ගමන් බලපත්‍රයට වඩා විද්‍යුත් ගමන් බලපත්‍රය දැරිය හැකි මිලකට ලබාදෙන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.