October 22, 2024

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නව ආරක්‍ෂිත අංගයන්ගෙන් සහ නව පෙනුමකින් සමන්විත අලුතින් ආනයනය කරන ලද ‘P’ ශ්‍රේණියේ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද ආරම්භ විය.

නව විදේශ ගමන් බලපත්‍ර 1100ක් පමණ එක්දින සේවාව යටතේ අද පෙරවරුවේ සිට නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.

ඒ, මෙරූන් වර්ණ ආවරණය සහිත පෙර ‘N’ ශ්‍රේණියේ සාමාන්‍ය ගමන් බලපත්‍රවල අවසන් වන තොග වෙනුවට නව නාවික නිල් වර්ණ ආවරණය සහිත ‘P’ ශ්‍රේණියේ ගමන් බලපත්‍රය සමඟය.

දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසුවේ, රුපියල් 20,000 ක ගාස්තුවක් සමඟ එක්දින සේවාව යටතේ අයැදුම් කරන පුද්ගලයන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් නව ‘P’ ශ්‍රේණියේ ගමන් බලපත්‍රය නිකුත් කිරීම බාධාවකින් තොරව සිදුකෙරෙන බවයි.

යන්ත්‍රයෙන් කියවිය හැකි නව විදේශ ගමන් බලපත්‍රය පෙර පිටු 64 කින් යුත් ‘N’ ශ්‍රේණියේ ගමන් බලපත්‍රය හා සසඳන විට පිටු 48 කින් කුඩාවී ඇති අතර නවතම ආරක්ෂක විශේෂාංගවලින් සමන්විත වේ.

ඊ පාස්පෝට් මිලියන පහක් මිලදී ගැනීම සඳහා මීට පෙර ලබාදුන් නියෝගය අභියාචනාධිකරණ වාරණ නියෝගයක් සමඟින් නොවැම්බර් 6 වැනිදා දක්වා නවතාදමා තිබූ බැවින් විදේශ ගමන් බලපත්‍ර, හැඳුනුම්පත් සහ රියදුරු බලපත්‍ර ලබාදීමේදී ෆින්ලන්ත හවුල්කරුවකු වන Thales DIS Finland Oy යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර 750,000 ලබාදීම සඳහා ටෙන්ඩරයක් ලබාගෙන ඇත.

මහජන ආරක්‍ෂක අමාත්‍ය විජිත හේරත් මීට පෙර ප්‍රකාශ කළේ, පළමු කාණ්ඩය යටතේ ඔක්තෝබර් 15 සහ 20 අතර කාලය තුළ විදේශ ගමන් බලපත්‍ර 47,500 ක් ආනයනය කරන බවත්, නව ගමන් බලපත්‍ර 100,000 ක දෙවන කාණ්ඩය නොවැම්බර් මස අවසන් වන විට ලැබෙන බවත්ය.

කෙසේවෙතත් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කළේ මුලදී විදේශ ගමන් බලපත්‍ර 10,000 ක් මෙරටට ලැබෙනු ඇති බව හා අනෙක් තොගය ඔක්තෝබර් 19 වනදා පැමිණ ඇති බවයි.

දැනට සාමාන්‍ය සේවය යටතේ ඉල්ලුම් කර ඇති පුද්ගලයන් සඳහා රුපියල් 10,000ක ගාස්තුවකට, 1200කට වඩා අඩු ඉතිරි ‘N’ ශ්‍රේණියේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග පවසයි.

42.31%
17.27%
32.76%