53.84%
19.85%
20.11%
September 5, 2023

අන්තර්ජාලය හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපාදන ඇතුළත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමටත්, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් මහජන ආරක්ෂක ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අන්තර්ජාලය හරහා සිදුකරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය හා ද්වේශ සහගත හැසිරවීම් මඟින් සිදුවන හානිවලින් පොදු සමාජය ආරක්ෂා කිරීම අරමුණින් මෙම පනත් කෙටුම්පත සකස්කර ඇති බව පැවැසේ.

නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇති එම පනත් කෙටුම්පතේ III කොටසේ දැක්වෙන පරිදි පහත සඳහන් ක්‍රියාවන් මෙම පනතේ විධිවිධාන මගින් වැරදි වශයෙන් අර්ථ නිරූපණය කර තිබේ.

* ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම

* අපහාසයට හේතු වන අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම

* අසත්‍ය ප්‍රකාශයක් මගින් කැරැලි ගැසීමක් සිදුකිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම

* අසත්‍ය ප්‍රකාශයක් මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම

* ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම

* ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍රා කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම

* වංචා කිරීම

* අනෙකකු ලෙස පෙනීසිටීමෙන් වංචා කිරීම

* සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතාන්විතව නින්දා කිරීම

* කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදුකිරීමට සැලස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම

* හිරිහැර සිදුකිරීම සන්නිවේදනය කිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම

* ළමා අපයෝජනය

* වරදක් සිදු කිරීම සඳහා බොට් (bot) සෑදීම හෝ වෙනස් කිරීම

53.84%
19.85%
20.11%