November 10, 2024

ආහාර ද්‍රව්‍ය සඳහා අදාළ වන සියලුම බදු නව රජය සමාලෝචනය කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

පිරිපහදු කළ පොල්තෙල් සඳහා අදාළ වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) ඉවත් කරන ලෙස දේශීය පොල්තෙල් පිරිපහදු ආයතන විසින් කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යාංශ ලේකම් එම් එම් නයීම්දීන් ප්‍රකාශ කර ඇත්තේ නව රජය පොල්තෙල් ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍ය මත පනවා ඇති බදු සමාලෝචනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවයි.

ආහාර ද්‍රව්‍ය සඳහා දැනටමත් ක්‍රියාත්මක වන බදු සමාලෝචනය කරමින් සිටින බවත්, ඒ නිසා අවශ්‍ය නිවැරදි කිරීම් සිදු කරන බවත් රජය දැනටමත් ප්‍රකාශ කර ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඔහු පෙන්වා දී ඇත්තේ පොල්තෙල් ආහාර ද්‍රව්‍යයක් බැවින් මේ ගැනත් සළකා බලන බවයි.

ආහාර ද්‍රව්‍ය සඳහා අදාළ වන බදු සංශෝධන පිළිබඳ නිවේදනය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයෙන් පසුව ප්‍රකාශයට පත් කරන බවද ඔහු සඳහන් කර ඇත.

නව රජය ආහාර ද්‍රව්‍ය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීම පිළිබඳ සළකා බලමින් සිටින්නේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණේ දැනට උපරිම සිල්ලර මිලක් පනවා ඇත්තේ සහල් සඳහා පමණක් වන අතර අනෙකුත් ආහාර ද්‍රව්‍ය ආවරණය වන පරිදි මෙය තවදුරටත් දීර්ඝ කිරීමේ සූදානමක් නොමැති බවයි.

මෙම වසර මුලදී එකතු කළ අගය මත බදු (වැට්) පනත සංශෝධනය කිරීමෙන් පසු පිරිපහදු කළ පොල්තෙල් මත විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පැනවීම සහ ඔවුන් වැට් බද්දෙන් නිදහස් කිරීම නිසා අසාමාන්‍ය ලෙස ප්‍රතිලාභ භුක්ති විඳින්නේ යැයි කියනු ලබන පොල්තෙල් ආනයනකරුවන් සමඟ තරඟ කිරීමට නොහැකි වීම මත දේශීය පොල්තෙල් පිරිපහදු බොහෝමයක් වසා දැමීමට සිදුවිය.

සැප්තැම්බරයේ පැවැත්වූ ජනාධිපතිවරණයට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ තම මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ආහාර, සෞඛ්‍ය සේවා සහ පාසල් සැපයුම් සඳහා පනවා තිබූ වැට් බද්ද ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.

“අපට අපේ රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන්. අපි ආහාර මත වැට් බද්ද අඩු කරනවා – ඒ සඳහා දැනට 18% බද්දක් තිබෙනවා. අපේ නායකත්වය යටතේ පැවැත්වෙන පළමු කැබිනට් රැස්වීමත් සමඟ ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපනික සැපයුම් මත වැට් බද්ද ඉවත් කරනවා. මේ වගේ පීඩනයකින් මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. අපි ඔවුන්ට සහන සළසනවා” යැයි ගාල්ලේ පැවති ජන රැලියක් අමතමින් දිසානායක පැවසීය.

42.31%
17.27%
32.76%