March 11, 2025

සිසුන්ට මානසික ආතතිය ඇතිවීම අවම කිරීම අරමුණු කරගනිමින්, 2028 වන විට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවට නව විභාගයක් හඳුන්වාදීමට රජය සූදානම් බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ(10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

වත්මන් ශිෂ්‍යත්ව විභාග ක්‍රියාවලිය සමාලෝචනය කර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලබන වසරේ විශේෂඥ කමිටුවක් පත්කරන බව ඇය පැවසුවාය.

විභාගය අධ්‍යයන දියුණුව සඳහා සාධාරණ අවස්ථාවක් ලෙස පවතින බව සහතික කරමින් සිසුන් මත එල්ලවන අනවශ්‍ය පීඩනය අඩුකිරීම කෙරෙහි කමිටුව අවධානය යොමුකරනු ඇත.

ශිෂ්‍යත්ව විභාගය හා සම්බන්ධ දැඩි තරඟකාරිත්වයේ මූල හේතුව ඉස්මතු කරමින් අග්‍රාමාත්‍යවරිය පෙන්වාදුන්නේ පාසල් ගුණාත්මකභාවයේ විෂමතා, සිසුන්ව පහසුකම් වැඩි පාසල්වලට ඇතුළත්වීමට පොළඹවන බවයි.

රජයේ දිගුකාලීන ඉලක්කය වන්නේ මෙම හිඩැස් පියවා වඩාත් සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම බව ඇය අවධාරණය කළාය.

“5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පවතින්නේ පාසල් අතර අසමානතාවයන් නිසා. එය දක්ෂ සිසුන්ට වඩා හොඳ පහසුකම් සහිත පාසලකට යාමට අවස්ථාවක් ලබාදෙනවා. මෙම විෂමතා එක රැයකින් ඉවත් කළ නොහැකි වුවත්, හොඳින් සම්පත් ඇති සහ අඩු වරප්‍රසාද ලත් පාසල් අතර පරතරය ක්‍රමයෙන් අඩුකිරීමට අපි කටයුතු කරනවා. එතෙක් ශිෂ්‍යත්ව විභාගය දිගටම පවත්වනවා. නමුත් එය සිසුන් මත ඇති කරන මානසික ආතතිය අවම කිරීමට අපි කටයුතු කරනවා” ඇය පැවසුවාය.