May 11, 2024

යෝජිත නව ශ්‍රී ලංකා විදුලිබල පනත මගින් ලබාදී ඇති පුළුල් බලතල හේතුවෙන් විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ‘රකුසෙක්’ බවට පරිවර්තනය විය හැකි බවට ජනාධිපති නීතීඥ ශාන්ත ජයවර්ධන අනතුරු ඇඟවීය.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විදුලිබල පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් 12ක් විභාගයට ගත් අවස්ථාවේදී ඔහු මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයේදී සඳහන් කළේය.

යෝජිත ශ්‍රී ලංකා විදුලිබල පනත අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන් ඉදිරියේ සළකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී විභාගයට ගැනිණි.

විභාගයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය නියෝජනය කරන ජනාධිපති නීතීඥ ශාන්ත ජයවර්ධන පෙන්වා දුන්නේ යෝජිත නව පනත මගින් විදුලි උපදේශක සභාව සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීම , දිගුකාලීන බලශක්ති උත්පාදන සැලසුම් අනුමත කිරීම මෙන්ම අනාගත බලශක්ති සමාගම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම ආදී ජාතික පත්වීම් ක්‍රියාවලියට අදාළ බරපතළ, සංකීර්ණ සහ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ඇමැතිවරයාට ඍජු බලය හිමිවන බවයි.

ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අනතුරු ඇඟවූයේ, පාරිභෝගික ආරක්‍ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කරමින්, එහි විධිවිධාන යටතේ පිහිටුවා ඇති සමාගම්වලට අසීමිත ලාභයක් ලබාගැනීමට මෙමගින් ඉඩ සැලසිය හැකි බවයි.

මෙම නව නීතිය රටේ පුරවැසියන්ගේ ස්වෛරීභාවය සහ ජනවරම අනතුරේ හෙළන බවත් ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය කළ හැකි බවත් පෙත්සම් වෙනුවෙන් ඉදිරිපත් වූ අනෙකුත් නීති නියෝජිතයෝ ද තර්ක කළහ.

මෙම පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ලබන සඳුදා දිනට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර ඇත.

 

42.31%
17.27%
32.76%