42.31%
17.27%
32.76%
June 27, 2024

මන්නාරමේ ඉදිකිරීමට නියමිත මෙගාවොට් 50ක සුළං බලාගාරය සඳහා වන අන්තර්ජාතික තරගකාරී ලංසුවල ‘දෙවැනි ලියුම් කවරය’ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඊයේ විවෘත කර තිබේ.

ලංසු අවසන් වූ වහාම තාක්ෂණික තොරතුරු ඇතුළත් පළමු කවරය විවෘත කර ඇගයීමට ලක් කළ නමුත් දෙවැනි ලියුම් කවරය විවෘත කිරීම ඊයේ දිනය දක්වා ප්‍රමාද වී තිබිණි.

‘ලියුම් කවර දෙකක’ ක්‍රමය යටතේ ලංසු කැඳවීම අවසන් වුයේ මැයි 9 වැනිදාය.

ලියුම් කවර දෙකක ලංසු තැබීමේ ක්‍රමය යනු ආයතනයකට තාක්ෂණික සහ මූල්‍ය නිර්ණායක මත පදනම්ව වෙන වෙනම යෝජනා ඇගයීමට අවශ්‍ය වූ විට සාමාන්‍යයෙන් භාවිත කරන ප්‍රසම්පාදන ක්‍රමයකි.

දෙවැනි ලියුම් කවරය විවෘත කිරීම සති හයකින් ප්‍රමාද වීම ඊයේ අවසන් වී ඇත්තේ ලංසු විවෘත නොකළහොත් සිය ඩොලර් මිලියන 100ක විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ සහ මූල්‍ය තිරසාර වැඩසටහන අත්හිටුවන බව ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දීමෙන් පසුව බව ද පැවසේ.

ලංසු කැඳවීමට අනුව ලංසු පහක් ලැබී ඇති අතර ඉන් තුනක් පමණක් තාක්ෂණික ඇගයීමේදී පූර්ව සුදුසුකම් ලබා ඇති බව වාර්තා විය.

WindForce, Vidullanka Consortium සහ Lakdhanavi විසින් දක්වන ලද මිල ගණන් පිළිවෙළින් කිලෝවොට් පැයකට අමෙරිකානු ඩොලර් ශත 4.88, 4.98 සහ 5.90 වී තිබේ.

වාර්තා වන පරිදි රජය විසින් Adani Green Energy වෙත කිලෝවොට් පැයකට අමෙරිකානු ඩොලර් ශත 8.26ක් ගෙවීමට යෝජනා කර ඇති අතර එය ලංකා විදුලිබල මණ්ඩලයට ලැබුණු අඩුම ලංසුවටත් වඩා 66%ක වැඩි අගයකි.

මේ අතර පරිසරවේදියකු සහ මහජන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිකයකු වන රොහාන් පෙතියාගොඩ පසුගිය මැයි 14 වැනිදා ප්‍රකාශ කර තිබුණේ එම ලියුම් කවර දෙකේ ලංසුවල සඳහන් මිල ගණන් කියවනු ලබන්නේ එතැන් සිට මාසයකට පමණ පසුව බවය.

අවම වශයෙන් එම ලංසුවලින් කිහිපයක් හෝ රජය විසින් Adani වෙත ගෙවීමට එකඟ වී ඇති අමෙරිකානු ඩොලර් ශත 8.26ට වඩා අඩු වන ඔහු ඉතා විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කර තිබිණි.

මෙගාවොට් 50 ව්‍යාපෘතියක් යනු Adani වෙත පිරිනමන මෙගාවොට් 250 ව්‍යාපෘතියට වඩා ඉතා කුඩා එකක් බවත් එමගින් විය හැකි ලාභ හෝ පාඩු Adani සමාගමේ ව්‍යාපෘතියට වඩා අඩු බවත් ඔහු පෙන්වා දී තිබිණි.

දෙවැනි ලියුම් කවරය විවෘත කිරීමෙන් පසු පෙතියාගොඩ පෙන්වා දී ඇත්තේ සුළං බලය සඳහා යන අනුපාතයට වඩා 66% වැඩි මුදලක් Adani වෙත ගෙවීමට රජය සැලසුම් කර ඇති බව විවෘත තරඟකාරී ලංසු තැබීම් හරහා ලබාගත් මිල ගණන්වලින් පැහැදිලි වන බවයි.

රුපියල් බිලියන 300ක් පමණ වන එම 66% යන්නේ කාගේ සාක්කුවටද යන්න ප්‍රශ්නයක් බව ද ඔහු පෙන්වා දී ඇත.

මේ අතර, පාරිසරික හේතු මත Adani ව්‍යාපෘතිය නවත්වන ලෙස වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මන්නාරම රදගුරුතුමන්, මහාචාර්යවරුන් වන නිමල් ගුණතිලක සහ සරත් කොටගම යන පිරිස සමග එක්ව රොහාන් පෙතියාගොඩ ද මෙම ගනුදෙනුවේ විනිවිදභාවයක් නොමැති බව පවසමින් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර ඇත්තේ රජය විසින් ඩොලර් බිලියන ගණනක ව්‍යාපෘතිය ඉල්ලා නොසිටි ලංසුවක් මත පදනම්ව සහ දළ වශයෙන් උද්ධමනය වූ මිලකට Adani සමාගමට ලබාදීමට සැලසුම් කරන බව පවසමිනි.

42.31%
17.27%
32.76%