September 27, 2023

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේදී, අන්තර්ජාතික විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලකුණු 300කට වඩා රැස් කළ පළමු පිරිමි කණ්ඩායම බවට පත්වීමට මොංගෝලියාවට එරෙහිව ක්‍රීඩා කළ නේපාලය සමත්වී ඇත.

චීනයේ Hangzhouහි පැවැති තරගයේදී නේපාලය පන්දුවාර 20 තුළදී ලකුණු 314-3ක් වාර්තා කළ අතර, එය 2019 දී අයර්ලන්තයට එරෙහිව ඇෆ්ගනිස්ථානය විසින් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වූ 278-3 සංඛ්‍යාව අභිබවා යාමක් විය.

අංක 03 පිතිකරු කුසල් මල්ලා පන්දු 34කදී වේගවත්ම විස්සයි විස්ස අන්තර්ජාතික ශතකය වාර්තා කරමින් එහිදී පෙරමුණ ගෙන ඇත.

මල්ලා 2017 දී බංග්ලාදේශයට එරෙහිව පන්දු 35 කදී සිය ශතකය වාර්තා කළ අතර, ඉනිම අවසානයේ ඔහු පන්දු 50 කදී නොදැවී ලකුණු 137 ක් රැස් කරගෙන සිටියේය.

එහිදී ඔහු හයේ පහර 12ක් සහ හතරේ පහර 8ක් එල්ල කර තිබේ.

නේපාල නායක රෝහිත් පෝඩෙල් පන්දු 27කදී හයේ පහර 06ක් සමඟින් ලකුණු 61ක් රැස් කර ඇත.

ඊට අමතරව තවත් ලෝක වාර්තාවක් තබමින් දිපේන්ද්‍ර සිං අයිරී පන්දු 10කදී සිට අර්ධ ශතකය ලබාගත අතර, එය 2007 වසරේ එංගලන්තයට එරෙහිව පන්දු 12 කදී ඉන්දියාවේ යුවරාජ් සිං ලකුණු 50ක් ලබාගනිමින් තැබූ වාර්තාව බිඳහෙලීමක් විය.

අයර්ලන්තයට එරෙහිව ඇෆ්ගනිස්ථානය ලබාගත් හයේ පහර 22 අභිබවා යමින් මෙහිදී නේපාල ඉනිමේ හයේ පහර 26ක් වාර්තා කිරීමද වාර්තාවක් වී ඇත.

සිය ඉනිම ක්‍රියාත්මක කළ මොංගෝලියාවට සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 41ක් පමණකි.

මෙහිදී නේපාලය ලැබූ ලකුණු 273ක ජයග්‍රාහී පරතරය අන්තර්ජාතික විස්සයි විස්ස තරගයකදී මෙතෙක් රැස්කළ විශාලතම ලකුණු පරතරය වේ.

එය 2019 දී තුර්කියට එරෙහිව චෙක් ජනරජයේ ලකුණු 257 ක පරතරය ඉක්මවා යෑමකි.