November 21, 2024

සජබ හා සිලින්ඩර් සන්ධානයේ දේශපාලන ස්වරූපය කියවා ගැනීමට ජාතික ලැයිස්තු අවුල කදිම නිමිත්තකි.
සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු යන්නේ රවී බව මම ඔහු නාම යෝජනා අත්සන් කළ දින සිට දැන සිටියෙමි.
රවීගේ පක්ෂය, විධිමත් සන්ධාන ගිවිසුමක් නැති කම, රවීට පූර්ණව එකඟවන පක්ෂයේ තනතුරු ලැයිස්තුව අනුව රවීගේ නම ගැසට් නොවුණා නම් පුදුමය. රවීගේ පත්වීම 100%ක් නීත්‍යනුකුල ය. (හැබැයි කැත වැඩකි) එය උසාවියකින් හෝ ආපසු හැරවීම කළහැකි යැයි මම නොසිතමි.
එක්සත් සමාජවාදී පෙරමුණ (මැටි පහන)ට 1989 දී ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට හවුල්කාර පක්ෂ අතර මෙවැනිම කුලල් කා ගැනීමක් ඇති විය.
අවසානයේ ජාතික ලැයිස්තුවට පුරවනු ලැබූවේ පක්ෂයේ මහ ලේකම් රාජා කොල්ලුරේ තමාගේම නම යෝජනා කරමිනි.
ඊට පසුව යාපනයේ ස්වාධීන කණ්ඩායම අංක 2 (ඊරෝස්) යටතේ තරඟ කල පිරිස ද, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අනුමැතිය සහිතව මැතිවරණ දෙපාර්තමේන්තුව නම් එවා ඒ නම් ගැසට් මගින් පළ කළේය.
මාගේ මතකය නිවැරදි නම්, දේවානන්ද, රාසමානික්කම්, බාස්කරන්, චන්ද්‍රකුමාර්, තංගවේල්, සෆාරුල්ලා ඇතුළු පිරිසක් 1991 පාර්ලිමේන්තුවට ආවේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා දෝෂාභියෝගයෙන් බේරාගන්නට අවශ්‍ය වුවහොත් ඡන්දය දෙන්නටය.
එජාපයට 2020 ලැබුණු මන්ත්‍රී ධුරය වසරකට වැඩි කලක් පුරප්පාඩුව තබා රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයකු ලෙස පාර්ලිමේන්තු ගොස් අගමැති, ජනපති දක්වා ඉහළ නැග්ගේය.
ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබිය දී, හරීන් ප්‍රනාන්දුගෙන් හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පාර්ලිමේන්තුව විසුරවන තුරුම පිරවීමට සජබ කටයුතු කළේ නැත.
ජාතික ලැයිස්තුවට ඇතිවී තිබෙන ගැටුමේ ප්‍රමාණය අනුව සිලින්ඩරයේ ජාතික ලැයිස්තුව තවත් ටික කලක් හිස්ව තිබේ නම් පුදුම විය යුතු නැත.
සජබ ලැයිස්තුවෙන් සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර දැනටම පත්වී ඇත. තවත් ආසන හතරක් ඉතිරිය.
මනෝ ගනේෂන් 2010 දී ද, 2020 දී ජාතික ලැයිස්තුව අරඹයා රැවටීමට ලක් විය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ රිෂාඩ්ගේ ඒ.සී.එම්.සී. පක්ෂයට මන්ත්‍රී ධුර ලබා දෙන බවට එකඟතාවක් තිබිණි.
2020 ද එම පක්ෂ සමගත් අසාත් සාලි සමඟත් එවැනිම එකඟතා පැවතිණි. නමුත්, සජබ එම එකඟතා ඉටු නොකළේය.
සරළවම, මනෝ, හකීම්, රිෂාඩ්ගෙන් දෙදෙනෙකුට හෝ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුර ලබාදීමට අනිවාර්යයෙන්ම සජබට සිදුවේ.
මුස්ලිම් කොන්ග්‍රසයේ ජාතික ලැයිස්තු තේරීම නිසාම් කාරියප්පර්ය.
මෙවර (ලග්ගල හැර) සජබ 15% ඉක්මවා ඡන්ද ලබාගත් සෑම ආසනයකම එම ඡන්ද ලැබුණේ වතු දෙමළ හා මුස්ලිම් ඡන්ද මත බව කිසි ලෙසකින් හෝ නොතකා හැරිය නොහැකිය.
ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරයක් කාන්තාවකට දීම සාමාන්‍ය සම්ප්‍රදායයි. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, විශාඛා සූරියබණ්ඩාර, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, තබා ලිහිණි ප්‍රනාන්දුට ජාතික ලැයිස්තුව මන්ත්‍රී වරම් නොලැබීමට ඇති ඉඩ වැඩිය.
ජී.එල්. පීරිස් හා ඩලස් අලහප්පෙරුම ජාතික ලැයිස්තුවට බලාපොරොත්තු ඇති අනෙක් මන්ත්‍රීවරුන් දෙදෙනාය.
මම දන්නා සජිත් ප්‍රේමදාස නම්, කිසිම දවසක ඩලස්ට ජාතික ලැයිස්තුව දෙන්නේ නැත.
ඩලස් මන්ත්‍රී ධුරයක් ලබන්නේ නම්, එහි දිගු කාලීන අවාසිය තමාට බව ඔහු ගණන් හදනු ඇත.
ඒ අර්ථයෙන් ගත් විට, ජී.එල්.ට නැවත ජාතික ලැයිස්තුවෙන් පැමිණීම ට ඇති ඉඩ අන් සියල්ලට වඩා වැඩිය.
නමුත්, එය කිසි ලෙසකින් හෝ සජබට, හෝ විපක්ෂයට ආලෝකයක් වන්නේ නම් නැත.
ලක්ෂ්මන් කිරිඇල්ල ජාතික ලැයිස්තුවට පත් කරන ලෙස මහ නායක හිමිවරුන්ගේ ඉල්ලීම ඉටු කිරීමට තරම් සජබ තීරණ ගන්නා කණ්ඩායම කිසි විටෙක ඉඩ දෙන්නේ නැත. ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ලගේ නම ටිපෙක්ස් වන්නේ ඒ නිසාමය.
කිරිඇල්ල නැති අඩුව නම් පාර්ලිමේන්තුවට දැඩිව දැනෙනු ඇත.
සජිත්ගේ ළඟම හිතවතුන් වන අශෝක් අබේසිංහ සහ බුද්ධික පතිරණටත් ජාතික ලැයිස්තු කැරට් අල දික්වී ඇති බව දනිමි.
ඉතිහාසය පුරා එවැනි කැරට් ගුණරත්න වන්නිනායක, ශිරාල් ලක්තිලක, රවී ජයවර්ධන, අසාත් සාලි, වැනි මාගේ මිතුරන්නට සජිත්ගෙන් නොඅඩුව ලැබී තිබුණි. මා දන්නා සජිත් මුලින්ම නොතකා හරින්නේ තම සමීපතම හිතවතුන්ය.
මහේෂ් සේනානායක, සුජීව සේනසිංහ, ඉරාන් වික්‍රමරත්න ඉදිරියෙන්ම සිටින අනෙක් පුද්ගලයන්ය.
සුජීවට පක්ෂය තුළින් දැඩි විරෝධයක් ඇතත් තවමත් වැඩිම අවස්ථාව ඇති තෝරා ගැනීම ඔහුය.
සජබ ලැයිස්තුවේ ඉන්න වෙනත් මිනිහෙකුට මතයකට ඇහුම්කම් දෙන පුද්ගලයකු ඇත්නම් ඒ එරාන් වික්‍රමරත්නය.
නමුත්, මේ වන විට මන්ත්‍රී ධුරට ඔහුට ද දුරය.
ගිය වර සජබ ජාතික ලැයිස්තුවෙන් ආ හරීන් ප්‍රනාන්දු, ඩයනා ගමගේ පක්ෂය හැර ගියේය.
මෙවර දැනටම රංජිත් මද්දුම බණ්ඩාර ජාතික ලැයිස්තුවට පත්වී අවසන්ය.
ඉදිරි දින කිහිපයේ සජිත්ට ලොකුම අභියෝගය වනු ඇත්තේ රංජිත් මද්දුම බණ්ඩාරමය.
මේ ටික කියවන ඔබ මේ පක්ෂ දෙකට ජාතික ලැයිස්තුවෙන් පත් කරන්නට කුමන හෝ නිර්ණායකයක් ප්‍රමිතියක් නැති දැයි අසනු ඇත.
එහෙම ප්‍රතිපත්තියක් තිබුණා නම්, ජනාධිතිවරණයේ ලැබුණු ඡන්ද ප්‍රමාණයෙන් දෙකෙන් එකක් වත් මහා මැතිවරණයේ දී ලැබිය යුතු නේද? එවන් ප්‍රතිපත්තියක් ඇති නායකයකුට වසර හතරක් තුළ සිය මනාප ප්‍රමාණය අඩකට වඩා අඩු වනු ඇති ද?
පාර්ලිමේන්තුවේ විපක්ෂය මෙහෙයවිය හැකි පුද්ගලයා හර්ෂ සිල්වා, කබීර් හෂීම් වැනි අලුත් මුහුණකි.
විපක්ෂ නායකධුරයට කිසිවකු පත් වන තුරුම සජබ ජාතික ලැයිස්තුව පත් නොකිරීම ස්ථිර ඒ නිසාමය.
ප.ලි. රවී කරුණානායක තමන් දක්ෂයෙක් බව රටටම පෙන්වා ඇත. අද හවස තමන් කොච්චර දක්ෂ දැයි රංජිත් මද්දුම බණ්ඩාරට රටටම පෙන්විය හැකිය.

රජිත් කීර්ති තෙන්කෝන්ගේ ෆේස්බුක් පිටුවෙනි.

42.31%
17.27%
32.76%