February 3, 2024

නාරම්මල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයකු මියයෑම සම්බන්ධ සිදුවීම ආශ්‍රිතව පොලිසිය විසින් සිදුකරන අනීතික ක්‍රියා රැසක් අනාවරණය වෙමින් පවතී.

එහි අලුත්ම සිදුවීම ඊයේ(02) අධිකරණයේදී අනාවරණය විය. එනම් අදාළ වෙඩිතැබීම සිදුකළ පොලිස් නිලධාරියා භාවිත කර ඇත්තේ කිසිදු දිනෙක ලියාපදිංචි නොකළ, ව්‍යාජ අංක තහඩු සවිකළ යතුරුපැදියක් බවයි.

මේ සම්බන්ධයෙන් BBC සිංහල සේවය වාර්තා කර ඇත්තේ මේ ආකාරයෙනි.

“පොලිස් නිලධාරීන් ගමන්ගත් යතුරු පැදිය ව්‍යාජ අංක තහඩු සවි කරගෙන භාවිතා කළ එකක් බව වෙනම බී වාර්ථාවක් මගින් කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අද (පෙබරවාරි 02වැනිදා) අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.

එම යතුරු පැදිය 2007.07.20 දින පෞද්ගලික වෙළදසැලකින් මිල දී ගෙන ඇති බවත් එය මෙතෙක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි කර හෝ ආදයම් බලපත්‍ර, දුම් සහතික හෝ රක්ෂණය කර නොමැති බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.

එම වරද සම්බන්ධයෙන් අධිකරණය සැකකාර පොලිස් නිලධාරියාට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක්ද නියම කරනු ලැබීය.

කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියා සිටියේ මෙම යතුරු පැදිය වෙනත් සාපරාදී ක්‍රියාවකට යොදා ගෙන තිබේදැයි යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බවය.”

ඒ අනුව මතුවන ගැටලුව වන්නේ, ශ්‍රී ලංකා පොලිසිය සිය අනීතික ක්‍රියා වෙනුවෙන් තවත් මෙවැනි ආදයම් බලපත්‍ර, දුම් සහතික හෝ රක්ෂණය කර නොමැති, අවම තරමින් ලියාපදිංචියක් හෝ නොමැති යතුරුපැදි හෝ වාහන භාවිත කරන්නේද යන්නයි.

42.31%
17.27%
32.76%