December 5, 2023

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් සහ විශාල ජන සහභාගීත්වයකින් පැවැත්වීමට නියමිත බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ  බව ප්‍රකාශ කළේ තංගල්ල පක්ෂ කාර්‍යාලයේ පැවැති උත්සවයකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් දෙසැම්බර් මස 15 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පක්ෂ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සූදානම් කොට තිබෙනවා. එදින දහවල් 01ට මහා සම්මේලනය ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා පක්ෂය නියෝජනය කරමින් බිම් මට්ටමේ සාමාජිකයන් සතර දෙසින් පැමිණිමට නියමිතයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් ලෙස බිම් මට්ටමින් ගොඩනැගුණු, ඉතා කෙටි කලකින් විශාල ජයග්‍රහණ රාශියක් ලබපු පක්ෂයක් ලෙසත් ජනතාව වෙත ගොස් ජනතාවගේ බලය ලබාගැනීමට සමත් වූ ජනප්‍රියම පක්ෂය ලෙසත් පොහොට්ටුව පක්ෂය පෙන්වාදිය හැකිය. ඒ වගේම ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂයක්‌ විදිහට මුහුණදෙන්න සිදුවෙච්ච බිහිසුණුම, අභියෝගාත්මක ආර්ථික, සමාජීය කාලසීමාවකට මුහුණ දීපු දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වාදෙන්න පුළුවන්.

විශේෂයෙන් අපි බිම් මට්ටමින් පටන් ගත්ත තරුණ දේශපාලන පක්ෂයක් ලෙස අලුත් මුහුණුවරක් සමගින් රටේ අවශ්‍යතාවය, ජාතියේ අවශ්‍යතාවය සහ අපි විශ්වාස කරන්නාවූ ප්‍රතිපත්ති ආරක්ෂා කර ගනිමින්, දෙවන මහා සම්මේලනය මෙවර පවත්වනු ලබනවා. මේ වන විටත් ලංකාවේ සෑම ග්‍රාම සේවා වසමක්ම නියෝජනය වන අන්දමින් අපේ පාක්ෂිකයින්ට අපි ආරාධනා කරලා තියෙනවා මෙම සම්මේලනයට සහභාගි වෙන්න කියලා. ඒ වගේම අපි ආරාධනා කරනවා පොදුජන පෙරමුණත් එක්ක බැදුණූ සියලුදෙනාට දහවල් 01වන විට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණිලා ඔබ ගොඩනගපු ඔබේ දේශපාලන පක්ෂයේ හයිය පෙන්න එන්න කියලා.

කුමන්ත්‍රණවලින් අරගලවලින් බයකරලා තර්ජනය කරලා මේ පක්ෂය වට්ටන්න බැරි බව මතක් කරන්න ඕනි. මේ පක්ෂය නැවත වතාවක් බිම් මට්ටමේ සිට ගොඩනගලා මේ රටේ ජාතික දේශපාලනයේ තීරණාත්මක බලවේගය බවට පත්කරනවා. මේ රට ගොඩනගන, රට හදන, රට සංවර්ධනය කරන දේශපාලන බලවේගය ගොඩනගන්න අපිත් එක්ක එකතුවෙන්න කියලා ශ්‍රි ලංකාවාසී සියලු ප්‍රගතශීලී පොදු ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා.”

42.31%
17.27%
32.76%