42.31%
17.27%
32.76%
October 5, 2023

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ආන්දෝලනාත්මක රුපියල් ලක්ෂ 26ක විදුලි බිල කඩිමුඩියේ ගෙවා ඇත්තේ බිල්පත පැහැර හැරීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මස 06 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ අනාවරණය කළේය.

අදාළ විදුලි බිල ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් පොළොන්නරුවේ නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බවත් එය ලබන මාසයේ විභාගයට ගැනීමට නියමිත බවත් ඔහු ජනමාධ්‍යවේදීන් හමුවේ කියාසිටියේය.

වත්මන් ලංවිම සභාපතිවරයා, එවකට ලංවිම සභාපතිවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, එවකට අමාත්‍ය රවී කරුණානායක, නාමල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන අය මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති බව නලින් හේවගේ හෙළිකළේය.

තමා ඇතුළු පෙරකී පිරිසට මෙම නඩුවට පෙනී සිටින ලෙස දන්වා සිතාසි යොමුකර ඇති බවත්, නඩුව විභාග කිරීමට බියෙන් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා හරහා විදුලි බිල්පත ගෙවා දමා ගැටලුව සමථයකට පත්කර ගැනීමට නාමල් රාජපක්ෂ උත්සාහ කර ඇති බවත් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.

2019. 09. 12 සිට 2019 .09. 15 දක්වා දින කිහිපය තුළ, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ වීරකැටිය නිවසේ පැවැති නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විවාහ උත්සවයකට තාවකාලිකව ලබාදුන් විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු බව කියන රු. 26, 82, 246 ශත 57ක වියදමට අදාළ විදුලි බිල්පත පසුගිය 02වැනිදා සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා විසින් ගෙවා දැමීය.

වසර හතරක් පුරා නොගෙවා සිටි මෙම හිඟ බිල්පත පිළිබඳව තොරතුරු අනාවරණය වුණේ ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික නලීන් හේවගේ විසින් විදුලි බල මණ්ඩලයෙන් කළ විමසීමක දීය.

ඔහු විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම බිල පිළිබඳව 2023. 06. 23 දින ලංවිම දකුණු පළාත් (අංක 01) සාමාන්‍යධිකාරීවරයා වෙතින් විමසීමක් කර තිබිණි.

ඊට පිළිතුරු ලෙස ඉන් දින දෙකකට පසු අගෝස්තු 02 වෙනිදා ඔහු විසින් නලින් හේවගේ වෙත යොමු කළ ලිපියක මෙම සැපයුම් ගාස්තු පිළිබඳව තොරතුරු හෙළිකර ඇත.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2019. 09. 12 සිට 2019 .09. 15 දක්වා වීරකැටිය නිවසේ පැවති උත්සවයකට සහභාගීවන බව දැන්වා ආරක්ෂක පහන් සවිකරන මෙන් ඉල්ලා ඇත. ඒ අනුව තාවකාලිකව විදුලිය සපයා ආරක්ෂක පහන් සවිකර විදුලිය ලබාදී නැවත එම උපකරණ ගලවා ඉවත් කර ඇති අතර, ආරක්ෂක පහන් සවිකිරීම සහ ජනක යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රු. 26, 82, 246. 57ක වියදමක් දැරීමට සිදුව ඇති බවත් එම වියදම් ඇස්තමේන්තු මුදල ගෙවීම් කරන ලෙස දන්වා ඇතත් මෙතෙක් එම මුදල ගෙවීම්කර නොමැති බව කාරුණිකව දන්වමි” යනුවෙන් තොරතුරු නිලධාරී බෙදාහැරීම් (අංශ 4), නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (වානිජ සහ ආයතනික – බෙදාහැරීම් අංශ 4), ඉංජිනේරු වී.වී. ජනෙත් විසින් නලින් හේවගේ වෙත ලිඛිතව දන්වා තිබිණි.

මෙම කියන දිනයන් යනු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විවාහ මංගල උත්සවය පැවති දින කිහිපය යි.

ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ ලිමිණි වීරසිංහගේ විවාහය සිදු වුණේ 2019 සැප්තැම්බර් මස 12වැනිදායි.

42.31%
17.27%
32.76%