November 2, 2023

ලබන වසරේ බංකොළොත් නොවී රට ඉදිරියට ගෙන යෑමට නම් එම ආදායම් උපයා ගත යුතු බවත්, ඒ වෙනුවෙන් වැට් බද්ද 18%ක් වන තෙක් වැඩි කිරීමට අපට සිදුව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

මෙවැනි තීරණයක් ගැනීම ඕනෑම ආණ්ඩුවකට අසීරු කටයුත්තක් බවත්, විශේෂයෙන් ඡන්දයක් ආසන්නයේ සිටින පාර්ලිමේන්තුවකට මෙය අසීරු වැඩකටයුත්තක් වන නමුත් මෙය සිදු නොකළහොත් සියලුදෙනාගේ අනාගතය අදුරු වන බැවින් නිවැරදි තීන්දු ගත යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ඊයේ (01) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2023 අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

“රටේ කඩාවැටුණු ආර්ථිකය යළි පණ ගැන්වීමේ සැලසුම් අප මේ වන විට සකස් කර තිබෙනවා. අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මෙන්ම අපේ ණයකරුවන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.

සෑම අවස්ථාවකදීම අවධානය යොමු කරන්නේ ලබාගත් ණය ගෙවීමට අපිට ශක්තියක් තිබේද යන්න පිළිබඳවයි. ඒ සඳහා වර්ෂයෙන් වර්ෂය අප ආදායම් ඉහළ නංවා ගත යුතුයි. අපට මෙම ණය ආපසු ගෙවිය හැකි බවට පුද්ගලික ණයකරුවන් සහ බහුපාර්ශ්වික ණයකරුවන් සියලු දෙනාගේ විශ්වාසය දිනාගත යුතුයි.එම විශ්වාසය නොතිබුණහොත් රටේ ආර්ථිකය කඩා වැටෙනවා. එය මතක තබාගෙන වැඩකළ යුතුයි.

ණය ගෙවීම සහ පොලිය ගෙවීම සඳහා ලබන වසරේ අය වැයෙන් සැලකිය යුතු කොටසක් වෙන් කිරීමට අපට සිදු වෙනවා. මෙම ණය නොගෙවා සිටියහොත් අප නැවත පැරණි තත්ත්වයට පත් වෙනවා. එසේ නම් අපේ රුපියල ආරක්ෂා කරගෙන මෙම ණය ආපසු ගෙවිය යුතුයි.

මීට පෙර අය වැය සඳහා මුදල් නැත්නම් මහ බැංකුවට කියා මුදල් මුද්‍රණය කරනවා. දැන් නීතියෙන්ම එය සිදු කළ නොහැකියි. ඒ වගේම බැංකුවලින් ණය ගන්නත් බැහැ. මේ සියල්ල අවහිර කර තිබෙනවා. එසේ සිදු වූයේ මීට පෙර පැවති අවිධිමත් මූල්‍ය ක්‍රියාවලිය නිසයි.

ලබන වසර වන විට අපේ අදායම් තවදුරටත් ඉහළ නංවාගත යුතුයි. අපට ආදායම් ලබා ගැනීමට යම් ඉලක්කයක් තිබෙනවා. එම ඉලක්කයට අප ගමන් කළ යුතුයි.
ලබන වසරේ බංකොළොත් නොවී රට ඉදිරියට ගෙන යාමට නම් එම ආදායම් උපයා ගත යුතුයි. ඒ වෙනුවෙන් වැට් බද්ද 18%ක් වන තෙක් වැඩි කිරීමට අපට සිදු වී තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ, පකිස්ථානෙයේ තිබෙන තත්ත්වයට ඒමට අපට සිදු වුණා. මෙවැනි තීරණයක් ගැනීම ඕනෑම ආණ්ඩුවකට අසීරු කටයුත්තක්.

විශේෂයෙන් ඡන්දයක් ආසන්නයේ සිටින පාර්ලිමේන්තුවකට මෙය අසීරු වැඩකටයුත්තක්. නමුත් මෙය සිදු නොකළහොත් සියළුදෙනාගේ අනාගතය අදුරු වෙනවා. ඒ නිසා නිවැරදි තීන්දු ගත යුතුයි.

ජනතාවගේ දෝෂාරෝපණයට ලක් වෙමින් වුවද රට වෙනුවෙන් මෙම තීන්දු ගත යුතුයි. කඩාවැටුණු රට ගොඩනැගීමේ වගකීම මමත්, ඇමති මණ්ඩලයත් භාරගත්තා. ඒ වගේම ආර්ථිකය ගොඩැනගීමේ වගකීම අපි භාරගත්තා.”

42.31%
17.27%
32.76%