January 2, 2025

2025 නව වසර උදාවත් සමග අමෙරිකාවෙන් ප්‍රහාරාත්මක සිදුවීම් දෙකක් පිළිබඳව වාර්තා වේ.

ඉන් එකක් වන්නේ, අමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් හි පිහිටි ට්‍රම්ප් හෝටලයෙන් පිටත නවතා තිබූ එලෝන් මස්ක්ට අයත් ටෙස්ලා සමාගමේ සයිබර් ට්‍රක් රථයක් පුපුරා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

සිද්ධියෙන් ට්‍රක් ‍රථයේ රියදුරු මියගොස් තවත් පුද්ගලයන් හත්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

තුවාලකරුවන් සියලුදෙනා සුළු තුවාල ලැබූවන් බව පොලිසිය පවසා ඇති නමුත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ කර නොමැත.

ට්‍රක් රථය කොලරාඩෝ ප්‍රාන්තයෙන් කුලී පදනම මත ලබාගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

ට්‍රක් රථය ලාස්වේගාස් නගරයට පැමිණ ඇත්තේ පිපිරීමට පැය දෙකකටත් අඩු කාලයකට පෙර බව ද පොලිසිය පවසයි.

හෝටලය ඉදිරිපිට වීදුරු දොරටුවක් අසල නවතා තිබී ඇති එම ට්‍රක් රථය පළමුව දුමාරය පිටව ඇති අතර පසුව පුපුරා ගොස් ඇති බව පැවසේ.

මෙම සිදුවීම වාර්තා වන්නේ, අමෙරිකානුවන් නව අවුරුදු උදාවට එක්ව සිටි ඊයේ උදෑසන නිව් ඕර්ලියන්ස් හිදී පුද්ගලයෙකු විසින් ජනාකීර්ණ ස්ථානයකට අධික වේගයෙන් ට්‍රක් රථයක් ධාවනය කරවීමේ සිද්ධියකින් පසුවයි.

අදාළ සිද්ධියෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති අතර පොලිසිය එල්ලකළ වෙඩි ප්‍රහාර හමුවේ ට්‍රක් රථය ධාවනය කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්විය.

සැකකරු ටෙක්සාස් හි පදිංචි 42 හැවිරිදි අමෙරිකානු පුරවැසියෙකු වන ෂම්සුඩ්-ඩින් ජබ්බාර් ලෙස හඳුනාගෙන ඇත.

සැකකරු විසින් ධාවනය කළ ට්‍රක් රථයේ තිබී ISIS සටන්කාමීන් භාවිත කරන බව පැවසෙන ධජයක් සොයාගත් බව FBI නිලධාරීන් පවසා තිබේ.

ඒ අනුව එම සිද්ධිය ‘ත්‍රස්තවාදී ක්‍රියාවක්’ ලෙසින් විමර්ශනය කරන බවත් FBI පවසයි.

නව වසරේ සන්ධ්‍යාවේ පැවැති ජනමාධ්‍ය හමුවකදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කියාසිටියේ ධවල මන්දිරය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි.

එමෙන්ම අලුත් අවුරුදු දින අලුයම 15 දෙනෙකුට මරු කැඳවූ නිව් ඔර්ලියන්ස් හි සිද්ධිය හා ලාස් වේගාස් හි පිපිරීම අතර කිසියම් සම්බන්ධයක් තිබේදැයි සොයාබැලීමය නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවසුවේය.

42.31%
17.27%
32.76%