February 1, 2024

පෙබරවාරි 1 වැනිදා වන විට, ලොව ධනවත්ම පුද්ගලයන් 10 දෙනා සතු වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.44ක් බවට පත්ව තිබේ.

එය මසකට පෙර තිබූ වටිනාකමට වඩා ඩොලර් බිලියන 30කට ආසන්න අඩු වීමකි.

ෆෝබ්ස් නවතම වාර්තාව අනුව එලොන් මස්ක් තවදුරටත් ලෝකයේ ධනවත්ම පුද්ගලයා නොවේ.

මාස හයකට වඩා වැඩි කාලයක් ෆෝබ්ස් ලැයිස්තුවේ ඉහළින්ම සිටියේ ප්‍රකෝටිපති එලොන් මස්ක්ය.

එහෙත් මස්ක් විසින් පවත්වාගෙන යනු ලබන ටෙස්ලා සමාගමේ ඉපැයීම් 2024 දී “විශේෂයෙන්” මන්දගාමී වර්ධනයක් අපේක්ෂා කරන බව ජනවාරි 24 වැනි දින නිවේදනය කළේය.

එය ඊළඟ දිනයේ ටෙස්ලා කොටස් මිලෙහි 12% පහත වැටීමට හේතුවිය.

ඉන්පසුව ජනවාරි 30 වැනි දින ඩෙලවෙයාර් විනිසුරුවරයකු මස්ක්ගේ ඩොලර් බිලියන 51කට ආසන්න ආදායම් පැකේජය අවලංගු කිරීමට තීන්දු කළේය.

එය 2018 දී හිමිකර ගන්නා ලද පැකේජයකි.

ෆෝබ්ස් සඟරාව හෙළිකරගෙන ඇති පරිදි තීන්දුව අනුව, මස්ක්ට ලබා දී ඇති විකල්ප පැකේජය 50%කින් අඩුකර ඔහුගේ ධනය ඩොලර් බිලියන 25.5ක් අඩු කළේය.

ෆෝබ්ස්හි ගණනය කිරීම්වලට අනුව ජනවාරි 31 වැනි දින ලොව අංක 1 ධනවත්ම ස්ථානයේ සිට දෙවැනි ධනවත්ම පුද්ගලයා දක්වා මස්ක් පසුපසට යෑමට ටෙස්ලාහි පසුබෑමත් පැකේජ කප්පාදුවත් හේතු වී තිබේ.

ලොව නව අංක 1 ධනවතා වන්නේ ප්‍රංශයේ බර්නාඩ් ආර්නෝල්ට්ය .

ඔහු පසුගිය වසරේ ජූනි මාසයේ සිට අංක දෙකේ පසුවිය.

පසුගිය මාසයේ ආර්නෝල්ට්ගේ සුඛෝපභෝගී LVMH භාණ්ඩ සමූහය විසින් 2023 සඳහා ආදායම 9%කින් ඩොලර් බිලියන 94 (යුරෝ බිලියන 86.2) දක්වා වැඩි කරන බව නිවේදනය කළේය.

ලොව ඉහළම ධනවත්ම පුද්ගලයන් 10 දෙනාගෙන් නව දෙනෙක්ම පෙබරවාරි 1 වැනි දින වන විට ඔවුන් මාසයකට පෙර සිටි තත්ත්වයට වඩා ධනවත් වී තිබේ.

ඔවුන්ගේ වත්කම්වල එකතුව ඩොලර් ට්‍රිලියන 1.44කි.

මසකට පෙර ඩොලර් ට්‍රිලියන 1.47කට ආසන්න අගයක පැවති එම වටිනාකම පහළ යෑමට එලොන් මස්ක්ගේ පහත වැටීම හේතු වී තිබේ.

ෆෝබ්ස් 1987 වසරේ සිට ලොව ප්‍රකෝටිපතියන් පිළිබඳ වාර්තා සටහන් කරයි.

ඔවුන්ට අනුව පසුගිය වසරේ වාර්ෂික ලැයිස්තුව සඳහා කෝටිපතියන් 2,640ක් ඔවුන් සොයා ගෙන තිබේ.

වසර පුරා ඔවුන්ගේ වත්කම් දිනපතා යාවත්කාලීන කිරීමට ෆෝබ්ස් කටයුතු කර තිබේ.

බොහෝ ප්‍රකෝටිපතියන් ඔවුන්ගේ ශුද්ධ වටිනාකමෙන් වැඩි ප්‍රමාණයක් ඔවුන් විසින් ආරම්භ කරන ලද සමාගමේ කොටස් ලෙස තබා ගන්නා බවත් එම කොටස් මිල චලනය වන විට, ඔවුන්ගේ වත්කම් ද ඒ සමඟ වෙනස් වන බවත් ෆෝබ්ස් වාර්තාව පෙන්වා දෙයි.

පසුගිය මාසයේ විශාලතම ඉපැයීම්කරුවන් දෙදෙනා වූයේ Facebook හි මාර්ක් සකර්බර්ග් සහ බර්නාඩ් ආර්නෝල්ට්ය.

පසුගිය මාසය සඳහා ඔවුන්ගේ ආදායම පිළිවෙළින් ඩොලර් බිලියන 12.4 කින් සහ ඩොලර් බිලියන 10.1කින් වැඩි වී තිබේ.

ඒ ඒ සමාගම්වල කොටස් මිල ඉහළ යෑම හේතුවෙන් එක් එක් අයගේ වත්කම් ඉහළ ගොස් ඇත.

ෆෝබ්ස් සඟරාවට අනුව 2024 පෙබරවාරි 1 වැනි දින උදා වූ මධ්‍යම රාත්‍රිය වන විට පෘථිවියේ සිටින ධනවත්ම පුද්ගලයන් 10 දෙනා මෙසේයි.

1. බර්නාඩ් ආර්නෝල්ට්

2. එලොන් මස්ක්

3. ජෙෆ් බෙසෝස්

4. ලැරී එලිසන්

5. මාර්ක් සකර්බර්ග්

6. වොරන් බෆට්

7. බිල් ගේට්ස්

8. ලැරී පේජ්

9. ස්ටීව් බෝල්මර්

10. සර්ජි බ්‍රින්