42.31%
17.27%
32.76%
October 3, 2023

මුලතිව් මහේස්ත්‍රාත් විනිසුරු සහ දිසා විනිසුරු වශයෙන් කටයුතු කළ ටී. සරවණරාජා පසුගිය සතියේ සිය මෝටර් රථය විකුණා දමා, විදෙස්ගත වීමට පෙර බටහිර රටවල තානාපතිවරුන් දෙදෙනකු ද හමුවී ඇති බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර ඇත.

විනිසුරුවරයා පවසන ආකාරයේ කිසියම් ආකාරයක ජීවිත තර්ජනයක් තිබුණේ නම්, විනිසුරුවරයෙක් ලෙස ඒ සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමේ හැකියාව හා බලය ඔහුට තිබූ බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

මෙවන් වාතාවරණයක සරණවරාජා විනිසුරුවරයාගේ බිරිඳ අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ, විනිසුරුවරයාගෙන් තමන්ට හිංසා සිදුවන බව පවසමිනි.

ඒ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විනිසුරුවරයා කැඳවමින් පරීක්ෂාවක් ද සිදුකර තිබිණි.

මේ අතර විනිසුරුවරයාගේ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (02) අගවිනිසුරුවරයාගෙන්, මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

ටී. සරවණරාජා විනිසුරුවරයා මුලතිව් මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරයා වශයෙන් කටයුතු කරමින් මුලතිව් හි සිදුවූ සංවේදී සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන්ම නියෝග ලබා දී තිබිණි.

කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් සොයාගැනීමේ සිද්ධිය සහ කුරුන්දි විහාරය සම්බන්ධ සිදුවීම් ඒ අතරින් විශේෂය.

මෙවන් පසුබිමක ටී. සරවණරාජා විනිසුරුවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සැප්තැම්බර් මස 23 වනදා ඔහුගේ අත්සන හා නිල මුද්‍රාව සහිතව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර තිබිණි.

එම ලිපියේ සඳහන්ව තිබුණේ තමාගේ ජීවිතයට එල්ල වී තිබෙන තර්ජන හා අධික පීඩනය හමුවේ මෙම තීරණය ගන්නා බවය.

ධුරයෙන් ඉල්ලා අස්වූ ඔහු විදෙස්ගතව සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

42.31%
17.27%
32.76%