July 31, 2023

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) වෙත පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර ඇත්තේ, කිසිදු මන්ත්‍රීවරයකුට පෙර දැනුම්දීමකින් තොරව කිසිදු රාජ්‍ය ආයතනයකට ඇතුළුවිය නොහැකි බවයි.

කාවින්ද මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ඖෂධ නියාමන අධිකාරි කාර්යාලයට ගිය පසු, තමන් කථානායකවරයා සමඟ කතා කළ බවත්, අදාළ ක්‍රියා පටිපාටියට අනුව මන්ත්‍රීවරයෙක් ඕනෑම රාජ්‍ය ආයතනයකට පැමිණීමට පෙර පූර්ව දැනුම්දීමක් කළ යුතු බව කථානායකවරයා විසින් තමන්ට දැන්වූ බවත්, ඔහු පවසයි.

මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පැමිණෙන විට තමන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ සභාපතිවරයා සමඟ රැස්වීමක සිටි බවත්,එම රැස්වීම අවසන් වූ පසු හමුවීමට පැමිණෙන ලෙස පැවසුවද ඔවුන් නොපැමිණි බවත්, ඇමැතිවරයා සඳහන් කර තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් හමුවී, බාල වර්ගයේ ඖෂධ අඛණ්ඩව භාවිත කිරීම පිළිබඳව ඔවුන්ගෙන් විමසීමට ගිය නමුත්, එම මොහොතේ ආයතනයේ උසස් නිලධාරීන් පැමිණ නොසිටි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන පවසයි.

වත්මන් සෞඛ්‍ය ක්ෂේත්‍රය පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවීමට තමන් සූදානම් බව ඇමැතිවරයා සඳහන් කළද, ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ සාකච්ඡා කිරීමට තම පක්ෂය උනන්දු නොවන බව මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

ඔවුන් ජාතික ඖෂධ නියාමන අධිකාරි වෙත යෑමට පෙර එම සාකච්ඡාව ලබාදීමට හැකියාව තිබූ බවත්, එය පැවැත්වීමට මේ වනවිට ඇමැතිවරයා ප්‍රමාද වැඩි බවත්, මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.