January 5, 2024

2023.06.30 දිනට රජයට ලැබිය යුතු හිඟ බදු ආදායම රුපියල් බිලියන 943ක් බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී ඇත.

විවිධ හේතූන් මත එම මුදලින් අයකරගත නොහැකිව රුපියල් බිලියන 767ක් පවතින බවත්, ඉන් අයකරගත හැකි මුදල රුපියල් බිලියන 175ක් බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙළිකර තිබේ.

බදු අයකිරීම වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නීතිමය ක්‍රියාවලියේ සිදුකිරීමට නියමිත වෙනස්කම් පිළිබඳව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පවත්වා ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව නියාමනය කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධන ගෙන ඒම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මෙම රැස්වීම අමතමින් පැහැදිලි කර ඇත්තේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදී ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවා හඳුනාගෙන ඇති ගැටලු රැසක් පවතින බව ප්‍රකාශ කළ බවයි.

ඉහත කී රජයට අයවිය යුතු හිඟ බදු මුදල පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ එම රැස්වීමේදීය.

මේ අතර පවතින නීතිය යටතේ බදු පැහැර හරින පුද්ගලයන්ට වසර 15ක කාලයක් බදු නොගෙවා සිටිය හැකි බවද මෙහිදී අනාවරණය වී තිබේ.

42.31%
17.27%
32.76%