April 20, 2024

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් 70%ක් පමණ ආරක්ෂිතව නිවෙස්වල සිට සේවය කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

15%ක් පමණ කෘෂිකාර්මික අංශයේ සේවය කරන අතර අනෙක් අය ඉදිකිරීම් කර්මාන්තයේ රැකියාවල නිරත වන බව තානාපතිවරයා සඳහන් කරයි.

ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ ලෙබනන දේශසීමාව හරහා විටින් විට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වන බව වාර්තා වුවද එම ප්‍රදේශයේ පදිංචි 150,000කට අධික පිරිසක් තාවකාලිකව වෙනත් ස්ථානවලට ඉවත් කර ඇති බව තානාපතිවරයා පවසයි.

ඔවුන් අතර සිටින ශ්‍රී ලාංකිකයන් ද නව ස්ථාන වෙත ඉවත් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින අතර පවතින තත්ත්වය මත ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙන ඕනෑම අයකු තානාපති කාර්යාලය අමතන ලෙස ද දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ සිට යුරෝපයට ගමන් කරන බොහෝ ගුවන් ගමන් ඊශ්‍රායල කලාපය හරහා ගමන් කරන බැවින් නිරන්තර ගුවන් ගමන් වෙනස්වීම් සහ ප්‍රමාදවීම් මෙන්ම ආරක්ෂක හේතූන් මත එම ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බව තානාපති නිමල් බණ්ඩාර සඳහන් කර සිටී.

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින උණුසුම්කාරී තත්ත්වය මේ වනවිට මුළු ලෝකයේම අවධානයට ලක්ව ඇති අතර ඉරාන මාධ්‍ය ප්‍රකාශ කළේ මධ්‍යම පළාතේ ඉස්ෆහාන් ප්‍රදේශයෙන් පිපිරුම් හඬ ඇසුණු අතර නගර කිහිපයක් හරහා ගුවන් ගමන් අත්හිටුවා ඇති බවයි.

42.31%
17.27%
32.76%