September 9, 2023

සිකුරාදා රාත්‍රියේ මොරොක්කෝවට බලපෑ රිච්ටර් මාපකයේ 6.8 ක දැවැන්ත භූමිකම්පාවෙන් පුද්ගලයන් 1,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් ජනමාධ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

මොරොක්කෝවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, 1,037 ක් මිය ගොස් 500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූවන්ගෙන් සිය ගනණකගේ තත්වය බරපතල බැවින් සහ තවත් සිරුරු සුන්බුන් අතරින් ගොඩගනිමින් පවතින බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මොරොක්කෝ හමුදාව ගලවා ගැනීමේ ප්‍රයත්නයට එක් වූ අතර එක්සත් රාජධානිය, ඉන්දියාව සහ එක්සත් ජනපදය වැනි දුරස්ථ රටවල් හදිසි ආධාර ලබාදී ඇත.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය Marrakesh නගරයේ සිට කිලෝමීටර් 75 ක් ඔබ්බෙන් ඇට්ලස් කඳුකරයේ විය.

මොරොක්කෝවේ වේලාවෙන් රාත්‍රී 11.11 ට බොහෝදෙනා නිදාගෙන සිටියදී මෙම කම්පනය සිදුවී ඇත.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ භූමිකම්පාවේ කේන්ද්‍රය කිලෝමීටර් 18.5ක් ගැඹුරින් පැවති බවයි.

මෙය සාමාන්‍යයෙන් මහා භූමිකම්පා ඇතිවන ප්‍රදේශයක් නොවේ.

ස්පාඤ්ඤයට දකුණින් අත්ලාන්තික් සාගරයට සහ මධ්‍යධරණී මුහුදට මායිම්ව ඇති උතුරු අප්‍රිකාවේ රටක් වන මොරොක්කෝවේ මෙතෙක් වාර්තා වූ විශාලතම භූමිකම්පාව මෙයයි.