December 31, 2023

අහිංසක මිනිස්සු⁣න්ගේ ශ්‍රද්ධාව උපයෝගි කරගෙන ජාවාරම් කිරීමෙන් අවසානයේ සිදුවන්නේ බුදුදහම රටින්ම තුරන්වීම යැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ පවසති.

දැන් සිදුවන්නේ මිනිස්සුන් අන්ධ භක්තියෙනුත් අන්ධ භක්තියට ඇදගෙන යෑම බවත්, මේ විනාශයට බුදුදහම නොදන්නා භික්ෂුන් වහන්සේ වගකිව යුතු බවත් උන්වහන්සේ පෙන්වාදෙති.

පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියන පවසන්නේ ත්‍රිපිටකය හෙවත් පර්යාප්ති ශාසනය විනාශකර අහිංසක මිනිස්සුන් භක්තිවාදය කරා ඇදගෙන යෑම මහා විනාශයක ආරම්භය වන අතර, ලෝකයේ බෞද්ධ රටවල් රැසක් විනාශ වූයේ මෙවැනි කුමන්ත්‍රණ තුළින් බවයි.

විශේෂ ප්‍රකාශයක් කරමින් හෑගොඩ විපස්සි හිමියෝ මෙසේ ද පවසති.

“රුවන්වැලිසෑය හැදෙන තැන, හැදෙන හැටි ගැන බුදු හාමුදුරුවෝ දේශනා කර තිබෙනවා කියන රාධ හිමියන් මෑතක කියා තිබුණා.ඒක අමුලික බොරුවක්. අහිංසක මිනිස්සුන් නොමඟ යවන මේ වගේ බොරු කියන්න එපා කියලා අපි ඒ හාමුදුරුවන්ට කියනවා.බුදු හාමුදුරුවෝ රුවන්වැලිසෑය ගැන හෝ ලංකාව ගැන හෝ කරපු කිසිම දේශනයක් ත්‍රිපිටකයේ කොහේවත් නැහැ. ඇස් පියාගෙන ,දෙනුවන් අඬවන් කරගෙන දැන දැන බොරු කියන්න තරම් පහත් තත්ත්වයට අපේ භික්ෂුන් වහන්සේ පත්වීම හරිම කණගාටුදායකයි. දැන දැන බොරු කියන්නාට කළ නොහැකි පවක් නැතැයි බුදු හාමුදුරුවෝ රාහුලෝවාද සුත්‍රයේ දේශනා කර තිබෙනවා.මේ සියලු දේම අවාසනයේ එකතුවන්නේ බුදුරදුන් ලංකාවේ උපන්නා කියන ජාවාරමටයි.”

“බෝගසක ආශ්චර්යක් කියමින් පසුගිය කාලයේ මිනිස්සුන් මිථ්‍යාවට ඇදගෙන ගියා.ඊට පස්සේ වැව් අමුණු පිටින් පිරිත් කරනවා කියන ජාවාරමක් පටන් ගත්තා. පස්සේ චෛත්‍යවලට රෙදි ඔතන්න පටන් ගත්තා. ලක්ෂ ගණන් අරිහතුන් බිහිවේවා කියලා පුජාවක් කළා. මේ වගේ භක්තිවාදයට බෞද්ධයන් ඇදගෙන යන කුමන්ත්‍රණ වරින්වර රටේ බිහිවුණා. දැන් නම් කොහොමත් අරිහතුන් තමයි බිහි වී සිටින්නේ. දහමට හතුරොයි දැන් බිහිවි සිටින්නේ.”යැයි ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

“මේවගේ භක්තිවාදයට යොමුකරන දේවල් සිදුකරන ප්‍රධාන ආයතනවල භාරකාර හිමිවරුත් මේ විනාශයට වගකිය යුතුයි. මේ වගේ නාඩගම් කරනවිට උන් වහන්සේලාට පුළුවන්කම තිබෙන්න ඕනේ මොනවද මේ විකාර වැඩ කියලා අහන්න. නමුත් අපේ ගිහියන් මෙන්ම මේ බොහෝ හිමිවරුන් මුලින්ම බෞද්ධ කරලා ගන්නඕනේ. බුදුදහම කියන්නේ මොකක්ද කියලා නොදන්නාකම නිසා තමයි මේ සියලු විනාශයන් හමුවේ කවුරුත් නිහඬව ඉන්නේ. එළිවෙනකල් නොවේ සති ගණන් බුදුගුණ හෝ අරියවංශ දේශනාව හෝ වෙනත් දේශනාවක් කිව්වට වැඩක් නැහැ. බුදුගුණ අනන්තයි කිය කියා ඉඳලා වැඩක් නැහැ. ඒ අනන්ත බුදුගුණ තුළින් ජීවිත ගැඩගස්වා ගන්නා ආකාරයයි කියාදිය යුත්තේ.”

“මේ කාලයේ ආර්ථික වශයෙන් මිනිස්සුන් මහත් අමාරුවකින් ජීවත් වෙන්නේ. දරුවන්ට කන්න දෙයක් නැහැ. මේවගේ කාලයක අහිංසක මිනිස්සුන්ගේ තියෙන තුට්ටු දෙකත් ඇදලා අරන් එළිවෙනකල් බුදුගුණ අනන්තයි කියලා වැඩක් නැහැ. මිනිස්සුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්නා ආකාරය බුදු හාමුදුරුවෝ අනන්තවත් දේශනා කර තියෙනවා. යහපත් ලෙස හරිහම්බකරලා යහපත් ලෙස වියහියදම් කරන විදිය ඒ දේශනාවල සඳහන් වෙනවා. ජනතාව රැස්කරලා හාමුදුරුවරු කරන්න ඕනේ අන්න ඒ දේශනා පැහැදිලි කර දීමයි. ඒ අනුව ජීවත්වීමට උපදෙස් දෙන එකයි කරන්න ඕනේ. රටේ ඔය පුදපුජාවලින් මහ ලොකු බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවුණා නම් අද උතුරේ පන්සලක හාමුදුරුවෝ කෙනෙක්ට වස්වසන්න ඉඩ තිබුණා. අද ඒ තත්ත්වය තියෙනවාද. මේ භක්තිවාදය නිසා භෞතික හා ආධ්‍යාත්මික යන ආයතන දෙකම කඩා වැටෙනවා.අද පූජා පැකේජ්. පූජා රැලි ඇවිල්ලා. මේක අතිභයානක දෙයක්.අතීතයේදි මාලදිවයින වගේ බෞද්ධ රටවලටත් සිදුවුණේ මේ විපතමයි. මේවා කුමන්ත්‍රණ. මේ රටවලට සිදුවුණු දේ ගැන ගැඹුරින් විමර්ශනයක් කළොත් වැටහේවි මොකක්ද සිදුවුණේ කියලා.මුලින්ම කළයුත්තේ අපේ බොහෝ ගිහියන්ට මෙන්ම භික්ෂුන් වහන්සේටත් බුද්ධාගම ඉගැන්වීමයි. මේ සියල්ලෙන්ම අවසානයේ සිදුවන්නේ හැම අතින්ම අරාජික වීමයි ” යනුවෙන් පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ ප්‍රකාශ කරති.

42.31%
17.27%
32.76%