January 19, 2024

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය දියත් කරන ලද ‘පන්සලෙන් පන්සලට’ රාජ්‍ය තාන්ත්‍රික වැඩසටහනේ කොටසක් ලෙස ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්නමක් පසුගියදා (16) මියන්මාරයේ යැන්ගොන් නුවරට වැඩම කළහ.

යැන්ගොන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුව, විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය විසින් ජනාධිපතිවරයාගේ සහ විදේශ කටයුතු ඇමැතිවරයාගේ සහයෝගය ඇතිව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාරගේ මඟපෙන්වීම යටතේ යැන්ගොන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම සංචාරය සංවිධානය කිරීම සඳහා මියන්මාරයේ විහාරස්ථාන සමඟ සම්බන්ධීකරණය කර තිබේ.

වැඩමකළ භික්ෂූන් වහන්සේ යැන්ගොන්හි Pa Thein ආරාමය උණුසුම් ලෙස පිළිගෙන ඇත.

ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා එහි වැඩසිටින කාලය තුළ මියන්මාරයේ පෙර බුදුවරුන් සතර දෙනාගේ ධාතු තැන්පත් කර ඇති බව කියන යැංගෝන්හි අති පූජනීය ස්වේදගොන් චෛත්‍යය ඇතුළු විහාරස්ථාන ගවේෂණය කරනු ඇත.

පන්සලෙන් පන්සලට රාජ්‍ය තාන්ත්‍රික වැඩසටහන අන්තර්ජාතික සබඳතා සඳහා අද්විතීය ප්‍රවේශයක් ලෙස ජාතීන් අතර ගැඹුරු සංස්කෘතික හා ආගමික බැඳීම් ඉස්මතු කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මෙම වැඩසටහන කලාපීය සාමය සහ ස්ථාවරත්වය පෝෂණය කරමින් වැඩි අවබෝධයක්, සහයෝගීතාවයක් සහ සංස්කෘතික හුවමාරුවක් ලෙස කටයුතු කරන බවද අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම රාජ්‍ය තාන්ත්‍රික ව්‍යාප්තිය පුළුල් කිරීම සඳහා මියන්මාරයේ විවිධ ප්‍රාන්තවල විහාරස්ථාන සමඟ ක්‍රියාකාරීව සහයෝගයෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.

42.31%
17.27%
32.76%