July 25, 2024

“මෑත කාලයේ මැතිවරණයක් ප්‍රකාශයට පත්වූ වහාම දුස් තොරතුරු, ව්‍යාජ පුවත්, නොමග යවනසුලු පුවත් අන්තර්ගයන්, බොහෝ වශයෙන් පළවෙන එක, සංසරණය වෙන එක සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. මේ ප්‍රවණතාව කෘතීම බුද්ධිය හෙවත් AI වැනි තත්ත්වයන් එක්ක තවත් තීව්‍ර වෙන්න නියමිතයි. ඒ නිසාම එළඹෙන ජනාධිපතිවරණ කාලය අපි කාටත් විශාල වගකීමක් පැවරෙනවා. ඒ තමයි මේ වැරදි සහගත පුවත් භාවිතයෙන්, ඒවා විශ්වාස කර තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් ජනතාව යම් තාක් දුරට හෝ මුදවා ගැනීමට කටයුතු කිරීමයි. මොකද, එහෙම වැරදි තොරතුරු, නොමග යවනසුලු පුවත් හේතුවෙන් ජනමතයට ප්‍රබල බලපෑමක් වෙන්න පුළුවන්. එයින් අවසාන වශයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් එල්ල වෙන එක වළක්වන්න කාටවත් හැකියාවක් නෑ. ඒ නිසාම අප වැනි රටක පවත්නා අවම ප්‍රජාතන්ත්‍රවාදය වත් ආරක්ෂා කරගන්නට, පැහැදිලි ජනමතයකට ඉඩ දෙන්න මේ වැරදි තොරතුරු සමාජගත වීම වළක්වා ගන්නටත්, හැම විටම නිවරදි තොරතුරු ජනතාවට දෙන්නත් අපි උත්සාහ කළ යුතුයි“ මෙලෙස කියා සිටින්නේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වායි. පසුගිය දිනක නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් මාධ්‍යවේදීන් උදෙසා කොළඹ ජානකී හෝටලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලද වැඩමුළුවක අරමුණ වූයේ දුස් තොරතුරු පිළිබඳ වටහා ගැනීමටත්, ඒවා අවම කර ගැනීමටත් කටයුතු කිරීමය. එය සැබින්ම අභියෝගයකි.
ජනාධිපතිවරණයට දින නියම කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට බලය හිමිවීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණකි. අනෙක් අතට එය නොපැවැත්වීම සඳහා මේ මොහොතේත්, කුමන්ත්‍රණ දියත් වෙමින් පවතී. මේ තත්ත්වය හෙට දවසේ කුමන දිශානතියකට දෝලනය වේදැයි කිව නොහැකි තරමට අවිනිශ්චිත වුවද, කිව හැකි එකම දේ වන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය සුරක්ෂිත කරනු පිණිස රටක මැතිවරණ නිසි කලට පැවැත්විය යුතු බවය. ඒ නිසාම දෝ කුමන දහම් ගැට ගැසුවද, කුමන්ත්‍රණකරුවන් පවා මැතිවරණයකට පවත්නා සූදානමෙහි අඩු බවක් පෙන්වන්නේ නැත. ඒ වෙනුවට දිනෙන් දිනම ප්‍රචාරණ යාන්ත්‍රණයන්, විවිධ තලවල දේශපාලනික අරමුණු පෙරදැරි කරගත් වැඩසටහන් සක්‍රීය වනු දැකිය හැකිය. ඊට සමගාමීව අයථා ප්‍රචාරණයන්, අසත්‍ය තොරතුරු සංසරණය, මඩ ප්‍රචාර, නොමග යවනසුලු පුවත් හා තොරතුරු හුවමාරුවද, ඉහළ යමින් තිබේ. මේ තත්ත්වයට මුහුණදීමට සැබවින්ම අපට කළ හැකි යමක් ඇත්ද?

අසත්‍ය පුවත්, නොමග යවනසුලු තොරතුරු යනාදිය අද දවසේ ලෝකයටම තර්ජනයකි. විශේෂයෙන්ම තාක්ෂණයේ පිමි පැනීම් සමග සමාජ මාධ්‍ය විසින් ‘මාධ්‍ය භූමිකාව‘ තුළ වැඩි ඉඩක් අත්පත් කර ගැනීම මෙම තර්ජනය තවත් තීව්‍ර කර තිබේ. ඒ නිසාම එම සමාජ මාධ්‍ය ආයතනවල හිමිකාරිත්වයටත්, ඔවුන්ගේ රටවලටත් අද වන විට මෙම තත්ත්වය පාලනය කර ගැනීමට ඉතා අසීරුය. ඉකුත් කොවිඩ් සමයේ ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් රාජධාණි ආණ්ඩුව සමග ඒකාබද්ධ ගිවිසුම්වලට එළඹෙමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන දුස් තොරතුරු හා නොමග යවනසුලු පුවත් වලට වැට බැඳීමට ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය.

“එක්සත් රාජධානියේ රජය සමඟ ඇති උපායමාර්ගික හවුල්කාරිත්වයේ සන්දර්භය තුළ, COVID-19 පිළිබඳ වැරදි තොරතුරු පිළිබඳව දැනුවත් කිරීමට සහ අන්තර්ජාලය හරහා අසත්‍ය හෝ නොමඟ යවන අන්තර්ගතයන් වාර්තා කිරීමට පුද්ගලයින් දිරිමත් කිරීමට WHO සිය සන්නිවේදන කණ්ඩායම් සමඟ එකතු වී ඇත.“ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වෙබ් අඩවියේ මෙවැනි සටහනක්, අද ද, දක්නට ලැබේ. එක්සත් ජනපදයේ පැවති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා තේරී පත්වූ ජනාධිපතිවරණ අවස්ථාවේදී, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වයේ ගැටලු පිළිබඳ පසු කලෙක එහි හිමිකරුවන්ට අධිකරණයට කරුණු දක්වන්නට පවා සිදුවිය. එක්සත් ජනපදයේ ඩිජිටල් සිවිල් අයිතිවාසිකම් සංවිධානයේ නිදහස් මාධ්‍ය පිළිබඳ ප්‍රචාරණ කළමනාකාරිණී ලැන් මසෝ මෙසේ පවසයි.

“අන්තර්ගතය සඳහා නිසි මෙහෙයවීම් ප්‍රතිපත්ති නොමැතිව සහ ඇත්ත වශයෙන්ම මෙහෙවීම් සිදු කිරීමට ප්‍රමාණවත් අන්තර්ගත මෙහෙයවන්නන් නොමැතිව, එය වැරදි ක්‍රියාකාරීන්ට සබැඳි සහ නොබැඳි අපයෝජනයන් වර්ධනය කිරීමට වඩාත් ඉඩප්‍රස්ථා සලසයි“ ඇයගේ චෝදනා සමාජ මාධ්‍ය ආයතන හිමිකරුවන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවද, මේ වසරේ නොවැම්බර් මස පැවැත්වීමට නියමිත එක්සත් ජනපද ජනාධිපතිවරණයට අදාළව පවත්නා තමන්ගේ සූදානම පිළිබඳ යූ ටියුබ් හි ප්‍රකාශක අයිවි චෝයි, NBC පුවත් සේවයට මෙසේ පවසා තිබිණි.‍

“ඡන්දය දෙන ආකාරය පිළිබඳව ඡන්දදායකයින් නොමඟ යවන අන්තර්ගතය හෝ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ඇඟිලි ගැසීම දිරිමත් කිරීම YouTube තුළ තහනම් කර තිබෙනවා. එසේම උසස් තත්ත්වයේ අන්තර්ගතයන්ට මිනිසුන් සම්බන්ධ කරන ප්‍රතිපත්ති සහ පද්ධති සඳහා අපි දැඩි ලෙස ආයෝජනය කරමින් සිටිනවා. 2024 ජනාධිපතිවරණයට සහය දැක්වීමට අපගේ කැපවීම ස්ථිරයි.“ ඔහු විසින් අවධාරණය කර තිබේ.

මෙවැනි ජාත්‍යන්තර පසුබිමක, ජාතික මැතිවරණයකට උණුසුමක් පවතින වටපිටාවක, අයථා ප්‍රචාරණයන්, සාවද්‍ය තොරතුරු හෝ නොමග යවනසුලු පුවත් සම්බන්ධයෙන් අපට ගත හැකි ක්‍රියා මාර්ග මොනවාද? ප්‍රධාන ධාරාවේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍ය උපමාන හඳුන්වා දෙනු ඇත. ජනාධිපතිවරණයට දින තීන්දු කිරීමෙන් පසු මෑතකදී සම්මත වූ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත, AI තාක්ෂණික ක්‍රමවේදවල ප්‍රවණතා ආදිය සැලකිල්ලට ගනිමින් මෙවර උපමාන තවදුරටත් පුළුල් හා යවත්කාලීනව ප්‍රකාශයට පත්වෙනු ඇතැයි අනුමාන කළ හැකිය. එහෙත් මෙහිදී බොහෝ දෙනෙකු විසින් අසනු ලබන සාධාරණ පැන දෙකක් තිබේ. ඒවා නම් මාධ්‍ය උපමාන අදාළ වන්නේ රාජ්‍ය මාධ්‍යයට පමණක් නොවේද, යන්න හා ඒවා කඩ කිරීමෙන් දඬුවමකට ලක් කිරීමට හැකියාවක් ඇත්ද?, යන්නයි. 2015 ජනාධිපතිවරණයේදී, පැය 48ට පෙරාතුව මැතිවරණ ප්‍රචාරණ කටයුතු නැවැත්විය යුතු බවට වන නීතිය උල්ලංඝණය කරමින් ජාතික රූපවාහිනිය ප්‍රචාරණ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යද්දී, එවක මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාව සිටි මහින්ද දේශප්‍රිය ඇතුළු නියෝජිතයින් පිරිසක් එහි කඩා වැදී ප්‍රචාරණ කටයුතු අත්හිටුවීමට ක්‍රියා කිරීමද, මෙහිලා සිහිපත් කරනු වටියි.

මැතිවරණ විශ්ලේෂක, නීතිඥ ඩී.එම් දිසානායක මහතා ඒ පිළිබඳ පවසන්නේ මෙවැන්නකි.
“මෑතකදි තොරතුරු කොමිෂන් සභාවෙන් රටේ ජනප්‍රිය පුද්ගලික නාලිකාවකට අදාළව තීන්දුවක් දෙමින් කියා සිටියේ ආයතනය පුද්ගලික වුවද, සංඛ්‍යාතවල අයිතිය මහජනයා සතුවන බැවින් හා බලපත්‍රයක් මත පදනම්ව ආරම්භ කරන බැවින් තොරතුරු ලබා නොදී සිටිය නොහැකි බවයි. මෙය මැතිවරණ උපමාන ක්‍රියාත්මක කිරීමටත් අදාළයි. මොකද මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම මාධ්‍ය උපමාන ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පැවරී ඇති බලතල අනුවයි. ව්‍යවස්ථාව යනු රටේ උත්තරීතර නීතියයි. ඒ අනුව ප්‍රකාශකයා හෝ හිමිකරු මාධ්‍ය උපමාන ක්‍රියාත්මක කරන්නේ නැතිනම් උපමාන තුළ ක්‍රියාත්මක කෙරෙන දඬුවමක් ගැන සඳහනක් නැතත්, ව්‍යවස්ථාවට අනුව, මැතිවරණ නීතියට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතිනවා.“

ප්‍රධාන ධාරාවේ විද්‍යුත් හා පුවත්පත් මාධ්‍යයට අදාළව විධිවිධාන මෙලෙස වුවද, සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියා මාර්ග මොනවාදැයි විවාදපන්නය. එහෙත් මේවන විටත් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගූගල් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා හිමිකරුවන්ගේ කලාපීය නියෝජිතයින් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇතැයි දැනගන්නට ලැබේ. ඒවායේ ප්‍රතිඵල කෙසේ වෙතත්, නොමග යැවීම් වලින් වැළකෙන්නට නම් ග්‍රාහකයින් ලෙස,පාඨකයින් ලෙස අපටද, පැවරෙන වගකීමක් තිබේ. ඒ අනුව සාවද්‍ය තොරතුරු හඳුනා ගැනීමට, නොමග යවනසුළු පුවත් වෙබ් අඩවි හඳුනා ගැනීමට සිතිය යුතු කරුණු කිහිපයක් පහත පරිදි සාරාංශ ගත කළ හැකිය.

මූලාශ්‍රය පරීක්ෂා කිරීම එහි පළමු අවස්ථාවයි. වෙබ් ලිපිනය පරීක්ෂා කිරීමේදී ව්‍යාජ පුවත් අඩවි වල URL හි අක්ෂර වින්‍යාස දෝෂ තිබිය හැකි අතර ඒවා නුහුරු නම් සැක කළ යුතුය. දෙවැන්න නම් කර්තෘ පරීක්ෂා කිරීමයි. ව්‍යාජ ප්‍රොෆයිලයකින් පෙනී සිටින්නෙකු ලෙස පෙනී යන්නේද?, දන්නා කියන අයෙකුදැයි විමසිය හැකිය. තෙවැන්න නම් පුද්ගලයා කවුරු වුවද, පුවතට අදාළ වෙනත් මූලාශ්‍ර පරීක්ෂා කිරීමයි. විවාදපන්න පුවතක් නම් වෙනත් වගකිව යුතු මාධ්‍ය ආයතන එය වාර්තා නොකර සිටීමට හේතුවක් නැති බැවිනි. සිව් වන කරුණ වන්නේ ග්‍රාහකයින් ලෙස අප විචාරත්මක, විවෘත මනසකින් ඒ දෙස බැලීමයි. එය කරුණු වාර්තා කරන්නන්ද, හැඟීම් අවුළුවන්නක්ද යන්න තීරණය කළ හැකිය. බොහෝ විට හැඟීම් වලට ආමන්ත්‍රණය කරනු ලබන්නේත්, පුද්ගලික මතයන් ප්‍රකාශ කරන්නේත් නොමග යවනසුලු තොරතුරු බෙදාහරින්නන් විසිනි. පස්වන සාධකය වන්නේ කරුණු නිසි ලෙස පරීක්ෂා කිරීමයි. පුවතට අදාළ දත්ත, සංඛ්‍යාලේඛන, ප්‍රවීණයන්ගෙන් උපුටා දැක්වීම්, සහ යනාදිය නොතිබේනම් එය සැක කළ යුතුය. තොරතුරු ව්‍යාකූලද, භාෂාව ව්‍යාකූලද යන්න නිගමනය කළ හැකිවිය යුතුය. බොහෝ විට තමන්ගේ ආකල්පමය පක්ෂපාතී කම් මත එය සෘජුව සමපාත වන්නේ නම් ඒ නිසාම එම තොරතුර බෙදා ගැනීම ගැන දෙවරක් කල්පනා කළ යුතුය. අනෙක් කරුණ නම් අදාළ වෙබ් අඩවිය උපහාසාත්මක වෙබ් අඩවියක්දැයි සොයා බැලීමය. මන්ද යත් කෙනෙකුගේ විහිළුවක් අපට සැබෑවක් ලෙස අර්ථ නිරූපණය විය හැකි නිසාය. ඡායාරූප ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ බහා වැඩිදුර සෙවීමෙන් ඊට සමාන ඡායාරූප, ව්‍යාජ ඡායාරූප, සංස්කරණය කරන ලද ඒවා සංසන්දනය කර බැලීමට හැකිවෙනු ඇත. අවසාන වශයෙන් කරුණු පරීක්ෂා (Fact checking) කරන ආයතනවල නිල වාර්තා, තහවුරු කිරීම් විමසා බැලිය හැකිය. AI තාක්ෂණය විසින් අපේක්ෂකයින්ගේ කට හඬ, වීඩියෝ දර්ශන පවා කෘතිමව නිර්මාණය කළ හැකි බැවින් මැතිවරණ දිනයට පෙර දිනයේ හෝ ප්‍රචාරය කරන එවැනි අයථා ප්‍රචාරණයකින් ජන මතයට යම් බලපෑමක් කිරීමට ඇතැමුන් උත්සාහ දරන්නට ඉඩ තිබේ. අවදියෙන් සිටීම වඩා වැදගත් වන්නේ එහෙයිනි.

මෙහි අවසන් ප්‍රතිඵලය මාධ්‍ය ක්ෂේත්‍රයටත්, පොදුවේ සමස්ත සමාජයටත් කරන බලපෑම සුළුපටු නොවනු ඇත. අවසාන වශයෙන් නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ සමාජ මාධ්‍ය හා දේශපාලනය පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයේ සම අධ්‍යක්ෂ ජෝෂු ටූකර් පවසන මෙම ප්‍රකාශය උපුටා දක්වනු වටී.

“සාවද්‍ය තොරතුරුවල සෘජු බලපෑම අප සිතන තරම් ඉහළ නොවිය හැකිය. නමුත් වක්‍ර ප්‍රතිඵලය වන්නේ මිනිසුන්ට මාධ්‍ය කලාව කෙරෙහි විශ්වාසය නැතිවීම, එහි වෛෂයික සත්‍යයක් ඇති බවට විශ්වාසය නැතිවීම සහ ඕනෑම දෙයක් වැරදි තොරතුරු විය හැකි බවට විශ්වාස කිරීමයි.” සැබවින්ම එය ප්‍රජාතන්ත්‍රවාදී රටකට අතිශය භයානකය. ජනාධිපතිවරණයක වැනි තීරණාත්මක මහජන මතය විමසීමකදී, ඒ ආසන්න කාලයේදී සංවේදී සිදුවීම්, ප්‍රකාශයන්, සංසිද්ධි නිර්මාණයන් මෙන්ම ඒ පිළිබඳ ප්‍රචාරණමය දිශානතීන් කෙබදු ස්වරූපයක් ගනු ඇතිදැයි අනුමාන කිරීම පවා අසීරුය. එහෙත් අවදියෙන් සිටීම අප කාටත් යහපත්ය.

-ප්‍රියාන් ආර් විජේබණ්ඩාර