January 4, 2025

විදේශ රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල සඳහා තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් පත්කිරීමේදී පවතින ප්‍රමාදයන් සම්බන්ධයෙන් ඉකුත් දිනවල ජනමාධ්‍ය වාර්තා මගින් මතු වූ ගැටළු පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අවධානය යොමුකර ඇත.

ඒ අනුව නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසු දේශපාලන වශයෙන් පත්කළ නියෝජිතයන් කිහිපදෙනෙකු සේවයෙන් පහකිරීමත් සමඟ මෙම පුරප්පාඩු ඇති වූ බව අමාත්‍යාංශය පැහැදිළි කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාපටිපාටියට අනුකූලව කටයුතු කිරීම සහතික කිරීමට කාලය අවශ්‍ය වුවද, මෙම පුරප්පාඩු පිරවීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බව එම අමාත්‍යංශය මහජනතාවට සහතික වෙයි.

අමාත්‍යාංශයට අනුව, තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් පත්කිරීම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි ජනාධිපතිවරයාගේ නාමයෝජනාවලින් ආරම්භ වන ඉතා සූක්ෂම ක්‍රියාවලියකි.

කෙසේවෙතත්, මෙම පත්වීම් සඳහා සත්කාරක රටවල අනුමැතිය ලැබිය යුතුය. එය ගිවිසුමක් ලෙස හඳුන්වන විධිමත් රාජ්‍යතාන්ත්‍රික අනුමැතියකි.

එම ගිවිසුම සඳහා වන ඉල්ලීම ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල හරහා අදාළ රටවලට ඉදිරිපත් කිරීම සිදුවේ.

මෙම අනුමැතිය ලබාගැනීමට ගතවන කාලය රටවල් අනුව වෙනස් වේ.

“ඇතැම් රටවල් මාස 1 සිට 2 දක්වා කාලය තුළ එම ක්‍රියාවලිය සම්පූර්ණ කරන අතර අනෙක් රටවලට ඔවුන්ගේ අභ්‍යන්තර ක්‍රියා පටිපාටි හේතුවෙන් මාස හතරක් දක්වා කාලය අවශ්‍ය විය හැකිය, ”අමාත්‍යාංශය පවසයි.

සත්කාරක රටේ ප්‍රතිචාර දක්වන කාලය සහ මෙරට තුළ ක්‍රියාපටිපාටි අවශ්‍යතා වැනි සාධක මත පදනම්ව, මෙම ක්‍රියාවලියට සම්බන්ධ කාල රාමු වෙනස් විය හැකි බව අමාත්‍යාංශය පිළිගෙන තිබේ.

කෙසේවෙතත්, විනිවිදභාවය, ව්‍යවස්ථාපිත විධිවිධාන පිළිපැදීම සහ අන්තර්ජාතික රාජ්‍යතාන්ත්‍රික ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කිරීම සඳහා මෙම පියවර අත්‍යවශ්‍ය බව ද අමාත්‍යංශය අවධාරණය කර ඇත.

පත්වීම් පටිපාටියේ අඛණ්ඩතාව පවත්වා ගනිමින් ක්‍රියාවලිය කඩිනම් කිරීමට අමාත්‍යාංශය සිය කැපවීම යළිත් තහවුරු කරයි.

අන්තර්ජාතික තලයේ ශ්‍රී ලංකාව සඳහා නිපුණ සහ දක්ෂ නියෝජනයක් සහතික කිරීමේ රජයේ අභිප්‍රාය මෙම පත්වීම් මගින් පිළිබිඹු වන බව ද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අවධාරණය කරයි.

42.31%
17.27%
32.76%