September 6, 2024

අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ මූලික අංගයක් ලෙස බස්නාගොඩ ජලාශය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ දී අමතරව ගෙවා තිබූ රුපියල් මිලියන 50කට වැඩි අත්තිකාරම් මුදල කොටස් වශයෙන් අය කරගැනීමට කටයුතු කර ඇති බව වාරිමාර්ග අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අදාළ ව්‍යාපෘතිය සඳහා මෙවැනි වැරදි ගෙවීමක් සිදුකර ඇති බව ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක් මගින් හෙළිකර ඇති බව අප පසුගිය 1 වැනිදා වාර්තා කර තිබිණි.

ඒ අනුව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන විසින් ඒ සම්බන්ධ පැහැදිලි කිරීමක් අප වෙත එවා තිබේ.

එමගින් අදාළ ගෙවීමක් සිදුකර ඇති බව පැහැදිලි කර තිබේ.

ඔහු විසින් එවන ලද සම්පූර්ණ පැහැදිලි කිරීම පහතින්.

“බස්නාගොඩ ජලාශය ඉදිකිරීම ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ මූලික අංගයකි. ජලාශය ඉදිකිරීමේ කාර්යය චීනයේ Sinohydro co-operation Ltd. වෙත 2019.06.13 දින ප්‍රදානය කරන ලදී. එම ගිවිසුමට අනුව බදු රහිත මුදල වූයේ රු.2,394,354,968.00 හා එම කාර්යය මාස 18ක් වැනි කෙටි කාලයක් තුල නිම කිරීමට එකඟව පැවතිණි. අදාළ බදු රහිත මුදල ගණනය කිරීමේදී තාක්ෂණික ඇගයීම් කමිටුව වෙතින් වැරදීමක් සිදු වී ඇති බව මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පිහිටුවා තිබු ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් දැනගත් විගස ඒ බැව් ව්‍යාපෘති අධ්‍යක්ෂක විසින් එවකට සිටි අමාත්‍යාංශ ලේකම් වෙත 2020.05.13 දින දන්වා ඇත. එසේම එවකට සිටි අතිරේක ලේකම් විසින් ඒ බැව් Sinohydro සමාගමේ කළමණාකරණය වෙත දන්වා ඇත.

අත්තිකාරම් ගෙවීමේදී අමතරව ගෙවා තිබු රු මි.50.8ක මුදල කොටස් වශයෙන් කොන්ත්‍රාත් ගෙවීම් කිරීමේදි අයකර ගැනීමට කටයුතු කර ඇත. මේ වන විට රු. මි.40.4ක පමණ මුදලක් අයකරගෙන ඇති අතර ඉතිරි මුදලද ඉදිරි ගෙවීම් වලදී අයකර ගැනීමට කටයුතු කරමින් පවති. ඊට අමතරව කිසිදු අමතර ගෙවීමක් කොන්ත්‍රාත්කරු හට කර නොමැත. එසේම අත්තිකාරම් මුදල් ගෙවීමේදී වැඩිපුර ගෙවා ඇති මුදලටද සරිලන බැදුම්කරද කොන්ත්‍රාත්කරුගෙන් ලබා ගෙන ඇත. එමඟින් මෙම සිදුවී ඇති වරද නිවැරදි කිරීමට කටයුතු කර ඇත. මෙහිදි විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ මෙම වරද විගණන අංශයෙන් පෙන්වාදීමට පෙර ව්‍යාපෘතියේ නිලධාරීන් විසින් හඳුනාගෙන නිවැරදි කිරීමට කටයුතු කර ඇති බවය. පුවත්පත් වාර්තාවේ මෙම කරුණ වංචනික ක්‍රියාවක් හා ඇස්තමේන්තුව පුම්බා ඇති ලෙසට කර ඇති ප්‍රකාශය පිළිගත නොහැකි අතර මෙම ක්‍රියාදාමයේ කිසිදු වංචනික සැළැස්මක් නොතිබු බව අදාල නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා 2019 වර්ෂයේ ගිවිසුම්ගත වුවද ඉන් අනතුරුව පැවති කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය, අයහපත් කාලගුණය, ඉඩම් අත්පත් කරගැනීමේ කාර්යයන් සැළසුම් කළ අයුරින් ඉටු කිරීමට නොහැකි වීම යනාදි කරුණු මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ යෑමට හා ව්‍යාපෘතියේ කාලය දීර්ඝ වීමට සෘජුවම බලපා ඇත. මෙවැනි තත්ත්වයන් යටතේ මිල ගණන් පාලනය කිරීම කළ නොහැකි අතර ව්‍යාපෘතියේ කාලය දීර්ඝ වීමද නොවැළැක්විය හැකි කරුණකි.

මේ වන විට ජලාශය ඉදි කිරීමෙන් බලාපොරොත්තු වූ අරමුණ සපුරා ගැනීමට හැකිව ඇත. දැනට භෞතික ප්‍රගතිය 80% ඉක්මවා ඇති බවද ප්‍රකාශ කළ හැක. කෙසේවෙතත් නිම කිරීමට තවත් වැඩ කොටසක් ඉතිරිව ඇති අතර එම කාර්යයන් දැනට කොන්ත්‍රාත්කරු හට ගෙවීමට ඇති මුදල් ගෙවීමෙන් පසු කඩිනමින් සිදු කරනු ඇත.”