January 17, 2024

ධීවරයන් සහ එම ක්ෂේත්‍රය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් කිසිදු අවබෝධයකින් තොරව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කටයුුතු කරමින් සිටින බවත්, ඒ අනුව ධීවරයින් රැකබලා ගැනීමට හැකිවන වැඩ පිළිවෙළක් සකස් කිරීමට මෙම නිලධාරීන් සමත්ව නොමැති බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පැවැසීය.

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් විසින් ධීවර ක්ෂේත්‍රය මගින් මෙරට ආර්ථිකයට ලබාදෙනු ලබන දායකත්වය පිළිබඳව නිසි අවබෝධයකින් තොරව කටයුතු කර ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනා හට වෘත්තීය ගරුත්වයක් සහ අභිමානයක් ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ආරම්භ කළ ‘ගරුසරු’ වැඩසටහන යටතේ ධීවර ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වෘත්තිකයන් සමඟ අද (17) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවැති හමුවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ගාල්ල දිස්ත්‍රිකයේ හැදී වැඩුණු තැනැත්තකු වශයෙන් තමන්ට ධීවර වෘත්තිකයින් පිළිබඳ මෙන්ම ඔවුන් සිය වෘත්තියේ නියැලීමේදී අත්විඳින අභියෝග සම්බන්ධයෙන්ද මනා අවබෝධයක් පවතින බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඇමැතිවරයා එහිදී මෙසේද පැවැසීය.

“රට වටේම මුහුද තියාගෙන පිටරටින් සැමන් ගේනවා. පිටරටින් එන සැමන්වලට බදු ගහන්නේ කිලෝ එකකට රුපියල් සීයයක් දෙසීයක් වගේ මුදලක්. ඒක අයකරන්නේත් වතුර බර අඩුකරලයි. ඒත් රට ඇතුලේ ෆැක්ට්‍රියක් හැදුවොත් ඒකට සියයට 18 වැට් බද්දක් ගහනවා. ඒ බද්ද ගහන්නේ ආණ්ඩුවයි. අපි තමයි මේකට අත උස්සල තියෙන්නේ. හැබැයි මේක හදලා එවලා තියෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන් විසින්. ඒ අය දන්නේ නැහැ ධීවරයාව රැකබලා ගන්න නම් කොයි විදිහටද වැඩකරන්න ඕනේ කියලා.

අපි ධීවර කටයුතු කරනකොට ලෝකයේ අනිත් රවටල් භාවිතා කරන ආරක්ෂිත මෙවලම් භාවිතා කරනවාද කියලා ගැටලුවක් තියෙනවා. එහෙම වුණා නම් අපේ අනතුරු විශාල වශයෙන් අඩුකරන්න පුළුවන්. මේවා අපි නීති විදිහට ඉදිරිපත් කරලා දෙනවා. සමහර වෙලාවට ඔබව හිරකරන්න හදනවා කියලා හිතෙයි. ඒත් කම්කරු දෙපාර්තමේන්තුව විදිහට ශ්‍රමිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් කරන්න ඕනේ දෙවල් අනෙක් ආයතන එක්ක සාකච්ඡා කරලා ගැටුමකින් තොරව ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.”

42.31%
17.27%
32.76%