March 3, 2025

පළාත් පාලන මැතිවරණය මැයි මස මුල් සතියේ පැවැත්වීමට ඉඩ ඇති බව ජනමාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසා ඇත්තේ, මැතිවරණය පැවැත්වෙන දිනය සාකච්ඡා කර මෙම සතිය තුළ අවසන් තීරණයකට එළඹීම සඳහා විශේෂ රැස්වීමක් කැඳවන බවයි.

“අදාළ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන ලද සියලුම යෝජනා සලකා බැලීමෙන් පසු තීරණය ගන්නවා” ඔහු පවසා ඇත.

“අපි සියලු යෝජනා සැලකිල්ලට ගන්නවා. කෙසේවෙතත්, ස්වාධීන ආයතනයක් ලෙස, අදාළ දිනය පළාත් පාලන මැතිවරණ පනතට අනුකූලව ප්‍රකාශයට පත් කරනවා” ඔහු සඳහන් කරයි.

අයවැය විවාදය අවසන් වන තුරු නාමයෝජනා කැඳවීම ප්‍රමාද කරන ලෙස විරුද්ධ පක්ෂ ඉල්ලා ඇති අතර, ආණ්ඩුව ඉල්ලා ඇත්තේ, හැකි තරම් කඩිනමින් මැතිවරණය පවත්වන ලෙසයි.

2023 වසරේ මුලින් සැලසුම් කර තිබූ පළාත් පාලන මැතිවරණය, නාමයෝජනා කැඳවීමෙන්ද පසු කල්දමන ලදී.

2025 වසරේ එම මැතිවරණය පැවැත්වීම සඳහා පැරණි නාමයෝජනා ලැයිස්තු භාවිත කිරීම අසාධාරණ වනු ඇතැයි තර්ක කරමින් දේශපාලන පක්ෂ කිහිපයක් අධිකරණයේ පිහිට පැතුහ.

පසුව අධිකරණය තීන්දු කළේ, නව නාමයෝජනා ක්‍රියාවලියක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර අනුමැතිය අවශ්‍ය වනු ඇති බවයි.