April 17, 2024

ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත්, අනුලා චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු ඇමැතිවරයා සහ හිමිනමක අතර ඇති කරගෙන ඇතැයි කියන දස වසරක ගිවිසුම අවලංගු කරන ලෙස තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නා හිමියෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කරති.

ලක්දිව භික්‍ෂුණි ශාසනයේ ආරම්භක ස්ථානය ලෙස සැලකෙන ඓතිහාසික වටිනාකමකින් යුත් මිහින්තලේ අනුලා සෑය, මිහින්තලා රජමහා විහාරස්ථානය යටතේ පාලනය වන විහාරස්ථානයක් බවත්, එහි භාරකාරත්වය මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් යටතේ පවතින බවත් මෙම ලිපියෙන් දන්වා ඇත.

එහෙත් මහානායක හිමිවරුන්ගේ හා මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ අනුදැනුමකින් තොරව එම අනුලා සෑය සංවර්ධනය කිරිම සඳහා බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු ඇමැතිවරයා සහ වෙනත් හිමිනමක සමග දස වසරක ගිවිසුමකට ගොස් ඇති බවත් මහානායක හිමියන්ගේ ලිපියේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් කරුණු සොයාබලා එම ගිවිසුම අවලංගු කිරීමටත් එහි සංවර්ධන කටයුතු මහනායක හිමිවරුන්ගේ සහ මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ නිසි අනුදැනුම මත විනිවිදභාවයකින් ඓතිහාසික උරුමය ආරක්ෂා වන පරිදි කිරිමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙසට මල්වතු මහා නා හිමිපාණන් ජනාධිපතිවරයාට යොමුකළ එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.(ලංකාදීප)

42.31%
17.27%
32.76%