October 9, 2024

පවතින අධ්‍යාපන ක්‍රමය යටතේ නිර්මාණය වී ඇති තරඟකාරිත්වය සහ අධ්‍යාපනය තුළ මතුවන තත්ත්වයන් හේතුවෙන් පාසල් දරුවන්ගේ මානසික සෞඛ්‍යය ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති බව අගමැති හරිනි අමරසූරිය පැවසුවාය.

ඊයේ (8) පැවති උත්සවයක් අමතමින් අධ්‍යාපන ඇමැතිවරිය ද වන ඇය කියා සිටියේ සමාජය, ප්‍රජාව සහ පවුල් තුළ සිසුන්ගේ මානසික සෞඛ්‍යයට මැදිහත් වී එය ආරක්ෂා කිරීමට ක්‍රම සොයන අතරම ඉහත ගැටලු විසඳීම සඳහා නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

සියදිවි නසාගැනීම්, සියදිවි නසාගැනීමට තැත්කිරීම්, තමන්ටම හානි කර ගැනීම් වැනි සිදුවීම් දිනෙන් දින රට තුළ බහුලව දක්නට ලැබේ.

පාසල්වලට, ගුරුවරුන්ට හෝ මව්පියන්ට පමණක් දොස් පැවරීම පහසු නැති බවත් දොස් පවරනවා වෙනුවට අප අවධානය යොමු කළ යුත්තේ දරුවන් එවැනි ආතතියකට පත් කරන මූලික හේතු පිළිබඳ බවත් අගමැතිනිය පෙන්වා දුන්නාය.

එබැවින් පාසල් දරුවන්ගේ, නව යොවුන් වියේ දරුවන්ගේ සහ තරුණ පරම්පරාවේ අවශ්‍යතාවලට සංවේදී වන පුළුල් මානසික සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව අගමැතිවරිය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියාය.

ළමා නිවාසවල, රැඳවුම් නිවාසවල සහ ළමුන් සඳහා මානසික සෞඛ්‍ය රෝහල්වල සෞඛ්‍ය සේවා දියුණු කිරීමට පියවර ගත යුතු අතර අධ්‍යාපන පද්ධතියට තාක්ෂණය උකහා ගැනීම පිළිබඳ ප්‍රතිපත්ති සකස් කළ යුතු බවත් වර්තමානයේ දරුවන්ට බලපාන මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ සම්පූර්ණ වගකීම රජයට පමණක් ගත නොහැකි බවත් අගමැතිනිය පෙන්වා දුන්නාය.

රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික ආයතන සහ අන්තර්ජාතික සංවිධාන මෙම ගැටලු විසඳීම සඳහා සාමූහිකව දායක විය යුතු බව ද ඇය සඳහන් කරයි.

42.31%
17.27%
32.76%