January 8, 2024

සිය දරුවන්ට සරම්ප එන්නත කිසිසේත්ම ලබා නොදෙන බව කියන මවුපියන් කොළඹ නගරය තුළ මේ වනව්ට 1233ක් සිටින්නේ යැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුනි ‘මව්බිම පුවත්පත’ට පවසා තිබේ.

කෙසේ වෙතත්, මේ වනවිට එසේ එන්නත ප්‍රතික්ෂේප කළ පිරිස් හඳුනාගෙන තිබෙන බැවින් මේ මාසය ඇතුළත ඒ සියලුම දෙනා නිසි දැනුවත් කිරීමකින් පසු අදාළ අමතර එන්නත් මාත්‍රාව ලබාදීමට කටයුතු කරන්නේ යැයි වෛද්‍යවරයා අවධාරණය කර ඇත.

මෙම පිරිසේ නම්, ලිපින ඇතුළත්ව දත්ත තිබෙන බැවින් මහජන සෞඛ්‍ය නිලධාරීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය නිලධාරීන් එම සෑම නිවෙසකට ගොස් දරුවන්ගේ මව, පියා මේ වැඩසටහන පිළිබඳ දැනුවත් කරමින් ඒ සඳහා යොමුකරගැනීමට ක්‍රියාත්මක කර ඇතැයි වෛද්‍යවරයා පවසයි.

ප්‍රතිශක්තිකරණ එන්නත් කිරීම සහ ත්‍රිත්ව එන්නත දෙවැනි මාත්‍රාව මඟහැරුණු සියලුදෙනාමත් මේ වැඩපිළිවෙළට යොමුකර ගැනීමට නියමිත යැයිද ඔහු සඳහන් කරයි.

ඊයේ සිට ක්‍රියාත්මක ප්‍රතිශක්තිකරණ එන්නත් කිරීම මඟින් ත්‍රිත්ව එන්නත අමතර මාත්‍රාවක් ලෙස ලබාදෙන්නේ යැයිද එමඟින් සරම්ප, ජර්මන් සරම්ප සහ කම්මුල්ගාය යන බරපතළ රෝග තත්ත්වයන් තුනක් ආවරණය වන්නේ යැයිද ඔහු සඳහන් කර තිබේ.

සරම්පවලට එතරම් බියවීමට අවශ්‍ය නැතැයි කියමින් රෝගය නොතැකීම බරපතළ තත්ත්වයක් බවත්, සරම්පවලට ගොදුරුවීම නිසා ලක්ෂයකින් එක් අයකුටම මොළේ උණ හෙවත් සරම්ප එන්සෙෆලයිටීස්
තත්ත්වය නිසා පූර්ණකාලීනව අංගවිකල, අඳභාවය හෝ මරණය පවා සිදුවිය හැකි බවත්, වෛද්‍යවරයා පවසයි.

මවට ජර්මන් සරම්ප ඇතිවීම නිසා උපදින දරුවන් ඇසේ සුද ඇතිව හෘද සංජානනීයතාවලින් ඉපදීමට
හැකි බවත්, කම්මුල්ගාය වැළඳීම නිසා පිරිමි දරුවන් වඳභාවයට පත්වීමට හැකි බවත්, හෙතෙම සඳහන් කරයි.

වසර පහකට පසුව සරම්ප රෝගීන්ගේ සැළකිය යුතු වැඩිවීමක් තිබෙන බවත්, මේ වනවිට රට තුළින් රෝගීන් 740ක් වාර්තා වී ඇති අතර, එයින් රෝගීන් 349ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, 124ක් කොළඹ අග නගරයෙන්ද, 39 දෙනකු බන්ධනාගාර රැඳවූවන් බවත්,වෛද්‍යවරයා පවසයි.

සරම්ප වැනි රෝගයකට ප්‍රතිශක්තිකරණය ලබාදෙන්නේ මුළු ජීවිත කාලයටම බලපාන පරිදි යැයි ද කොළඹ අගනගරයේ රෝගීන් 124දෙනා විශ්ලේෂණය මඟින් සියයට 93ක්ම ප්‍රතිශක්තිකරණ ලබානොගත් අය බව තහවුරු වී යැයිද වෛද්‍ය රුවන් විජයමුනි වැඩිදුරටත් පවසා තිබේ.

42.31%
17.27%
32.76%