May 2, 2024

ලෝක කම්කරු දිනය ලොව පුරා ඊයේ සැමරිණි.

එහෙත් සාමාන්‍ය පරිදිම ශ්‍රී ලංකාවේ එය සමරනු ලැබුවේ කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන්ද නැතහොත් දේශපාලන අරමුණු වෙනුවෙන්ද යන්න විමසා බැලිය යුතුය.

එක්සත් ජනපදයේ චිකාගෝ හි හේ මාර්කට් චතුරශ්‍රයේ දී දිනකට පැය අටක වැඩ මුරයක් සහ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා කම්කරුවන් කළ උත්තරීතර පරිත්‍යාගය සිහිපත් කරමින් 1886 සිට ලොව පුරා මෙම දිනය සමරනු ලැබේ.

කෙසේවෙතත්, මැයි දිනයේ සැබෑ අරුත වසර ගණනාවක් නොව දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවෙන් දක්නට ලැබෙන්නේ නැත.

මෙම වසරේ ද එහි කිසිදු වෙනසක් වී නොතිබිණි.

සෑම වසරකදීම මෙරට මැයි රැලි පවත්වනු ලැබුවේ ඒ ඒ දේශපාලන පක්ෂවල බලය පෙන්වීම සඳහාය.

මේ වසරේ එය වඩාත් තීව්‍ර වී තිබුණේ මෙවර ජනාධිපතිවරණ උණුසුමක් ද ඊට එක්ව තිබීම හේතුවෙනි.

මෙම වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇති නිසා මැතිවරණ ක්‍රියාවලිය සඳහා නිල කටයුතු ජූලි 17න් පසුව පමණක් ආරම්භ කිරීමට නියමිතව තිබුණද රටම පාහේ සැකසී ඇත්තේ මැතිවරණ මාදිලියකටය.

මැයි දිනය ආසන්නයේ දී, බොහෝදෙනා අපේක්ෂා කළේ මෙවර සැමරුම ප්‍රධාන ධාරාවේ පක්ෂ විසින් ජනාධිපතිවරණ ව්‍යාපාරය දියත් කිරීම සඳහා යොදාගනු ඇති බවයි.

ඔවුන්ගේ අපේක්ෂාව සඵල කරමින් එය මැතිවරණ ව්‍යාපාරයක ඇරඹුමක් පමණක් නොව ජනාධිපති අපේක්ෂකයන් ප්‍රකාශයට පත් කිරීමේ සහ මැතිවරණ ප්‍රතිඥාදීමේ වේදිකාවක් බවටද පත්වූ ආකාරය දැකිය හැකි විය.

සේවකයන්ගේ සහ සේවා යෝජකයන්ගේ ප්‍රයෝජනය සඳහා නිදහස් වෙළඳපොළ ආර්ථිකයේ අවශ්‍යතාවලට අනුකූල වන පරිදි වත්මන් කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආමන්ත්‍රණයන් එකදු වේදිකාවකදී හෝ කියවුණේ ද යන්න සැකසහිතය.

ආර්ථික අර්බුදයෙන් පසු දරිද්‍රතා අනුපාතය සියයට 22 දක්වා ඉහළ ගොස් ඇති රටක සියලු දෙනාටම ප්‍රතිලාභ හිමිවීමට නම් ආර්ථික වර්ධනය ඉහළ නැංවීම අනිවාර්ය වේ.

සමාජවාදය ඉලක්ක කරගත් ආර්ථික ක්‍රමයක් තුළ හඳුන්වා දී ඇති වත්මන් කම්කරු නීති වත්මන් කාලයට ගැළපෙන පරිදි වෙනස් කළ යුතුව තිබේ.

එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු කථිකාවක් මෙවර එකදු වේදීකාවකින් හෝ අසන්නට ලැබුණේ ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැයි දින කතාව තුළින්ද එවැන්නක් ඇසුනේ නැත.

කෙසේවෙතත්, ක්‍රියාත්මක කිරීමට නියමිත ආර්ථික වැඩපිළිවෙළට සහාය දක්වන ලෙස සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු අනෙකුත් පක්ෂවලින් ඔහු ඉල්ලා සිටියේය.

වසර දෙකකට පෙර පැවති ආර්ථික අර්බුද සමයකින් පසු රට සාමාන්‍ය තත්ත්වයට පත් වූ ආකාරය ඔහුගේ කතාවේදී අසන්නට ලැබිණි.

අනෙක් අතට සමගි ජන බලවේගයේ මැයි දින වේදිකාව මැතිවරණ පොරොන්දු ප්‍රකාශ කිරීමේ වේදිකාවක් පමණක් බවට පත්ව තිබිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ නැවුම් විමර්ශනය, බුද්ධිමත් ගොවීන් සහ ධීවරයන් බිහි කිරීම, ආයෝජකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම, රැකියා අවස්ථා ඇති කිරීම සහ සෑම දිස්ත්‍රික්කයකම තොරතුරු තාක්ෂණ කලාප ඇති කිරීම යන පොරොන්දු එම වේදිකාවෙන් ඇසිණි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ඉහළ පොලී අනුපාතයක් ගෙවීම සහ ස්මාර්ට් පාසල් නිර්මාණය කිරීම ඔවුන්ගේ අනෙකුත් ප්‍රතිඥා අතර විය.

සිය පක්ෂයේ කිසිවකුත් මත්පැන් බලපත්‍ර ලබාගෙන නොමැත බවත් සිය රජය බලයට පත් වූ පසු පාර්ලිමේන්තුවේ යෝජනාවක් මගින් සියලුම මත්පැන් බලපත්‍ර අවලංගු කරන බවත් සමගි ජන බලවේගයේ කිසිවකුව මුදලට මිල දී ගත නොහැකි බවත් සජිත් ප්‍රේමදාස මැයි දින වේදිකාවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම කම්කරු අයිතීන් පසෙක තබා, ජනාධිපතිවරණය සඳහා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා බව ප්‍රකාශයට පත් කිරීමේ වේදිකාවක් බවට මැයි දින රැස්වීම පත්කරගෙන තිබිණි.

කම්කරු පන්තියේ අයිතිවාසිකම් හෝ දුක් වේදනා ඉස්මතු කිරීමට ඔවුන්ගේ වේදිකාව තුළ ඊට වඩා දෙයක් තිබුණේ නැත.

ජාතික ජන බලවේගය මාතර දිස්ත්‍රික් මැයි රැලියට එක්වෙමින් පක්ෂ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ රනිල් වික්‍රමසිංහට හෝ සජිත් ප්‍රේමදාසට විනයගරුක සහ නීතිගරුක සමාජයක් නිර්මාණය කළ නොහැකි බවයි.

“අපි හොඳින් විනයගරුක ජනතා බලවේගයක් බව අපේ මැයි රැලි හතරෙන්ම ඔප්පු කර තිබෙනවා.අනෙක් දේශපාලන බලවේගවලට විනයක් නැහැ.අපේ මැයි රැලිය තමයි ඉතාම හොඳින් සංවිධානය වූ මැයි රැලිය සහ පෙළපාළිය.මේ ආකාරයේ සංවිධාන බලයක් සහ විනයක් මේ රටට අවශ්‍යයි, මේ ආණ්ඩුවට එම විනයගරුක සහ නීතිගරුක සමාජය අපට නිර්මාණය කළ හැකියි,” යනුවෙන් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සිය මැයි දින වේදිකාව ජනාධිපතිවරණය ඉලක්ක කරගත් දේශපාලනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාම යොදාගෙන තිබිණි.

එහි නායක මහින්ද රාජපක්ෂ දේශපාලන ප්‍රතිවාදීන් විවේචනය කරමින් දේශපාලන කතාවක් කළ ආකාරය දක්නට ලැබිණි.

ජනාධිපතිවරණය දිනන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබන අපේක්ෂකයා පමණක් බව පවසමින් පක්ෂයේ ශක්ති ප්‍රමාණය ඉහළ නැංවීමට ඔහු එහිදී උත්සාහ කළේය.

අපේක්ෂකයා නියම වේලාවට ප්‍රකාශ කරන බවත් එතෙක් ඕනෑම කෙනෙකුට ජනාධිපති වීම සඳහා හීන දැකිය හැකි බවත් ඔහු පැවසීය.

ඒ අනුව ගත්කල අපේක්ෂා කළ පරිදිම ඊයේ දිනය ද ශ්‍රී ලංකාවේ තවත් එක් මැයි දිනයක් පමණක්ම විය.

දේශපාලනයට එහා එහි කිසිවක් නොතිබුණු අතර කම්කරුවන්ගේ අයිතිවාසිකම් නොසළකා හැරීම ඉතා පහසුවෙනම සිදුකර තිබිණි.

මේවා බලන්නට එක්වූ දහස් ගණනක් ද යළි පිටත්ව යන්නට ඇත්තේ කිසිදු බලාපොරොත්තුවක් නොමැතිවමය.