December 8, 2024

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා වහාම එම තනතුරේ ක්‍රියාකිරීම අත්හිටුවීමට නිර්දේශ කළ ආචාර ධර්ම කමිටු වාර්තාව එහි විධායක කමිටුව විසින් බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු සාමාජිකයන් හත් දෙනෙකු ආචාර ධර්ම කමිටු වාර්තාව සම්පුර්ණයෙන්ම ඉවත දැමිය යුතු බවට තර්ක කර ඇති අතර එහි සාමාජිකයන් දෙදෙනෙකු වාර්තාවට පක්ෂවත් තවත් එක් සාමාජිකයකු ඡන්දය දීමෙන් වැළකීත් සිට තිබේ.

ආචාර ධර්ම කමිටු වාර්තාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බහුතරයක් දෙනා අවධාරණය කර ඇත්තේ දීර්ඝ කාලයක් සේවය කළ මහලේකම්වරයාට එල්ල වී ඇති චෝදනාවලට ප්‍රතිචාර දැක්වීමට කිසිඳු අවස්ථාවක වේදිකාවක් ලබාදී නොමැති බවයි.

ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක කමිටුව තීරණාත්මක රැස්වීමක් සඳහා බදාදා (4) කැඳවා තිබූ අතර එහිදී ආචාර ධර්ම කමිටු නිර්දේශ ඇතුළත් වාර්තාව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

අවසානයේ බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප වූ ආචාර ධර්ම කමිටු වාර්තාව සම්මත කළ යුතුද යන්න ඡන්ද විමසීමකින් තීරණය කිරීමට රැස්වීමේදී තීරණය වී ඇත.

විධායක කමිටුවේ සිටි බොහෝ දෙනාගේ අදහස වී තිබුණේ ආචාර ධර්ම කමිටුව විසින් ගොනු කරන ලද වාර්තාව සැක සහිත වන අතර එය ද්වේෂ සහගත චේතනාවෙන් සිදු කර ඇති බවයි.

තවද, ක්‍රීඩා අමාත්‍යාංශයේ විමර්ශන වාර්තාවේ නිර්දේශ 12ක් සහිත ජාතික ඔලිම්පික් කමිටුවේ කිසිදු නිලධාරියකුට එරෙහිව දණ්ඩනීය ක්‍රියාමාර්ග ගත යුතු බව සඳහන් කර නොමැති බව විධායක කමිටු සාමාජිකයන් අවධාරණය කර තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුබ්‍රමනියම් සහ එහි මහලේකම්වරයා අතර දැනට පවතින මතභේදය රටේ ක්‍රීඩාවේ උන්නතිය සඳහා සාමකාමීව විසඳා ගත යුතු බව පමණක් එම නිර්දේශවලින් යෝජනා වී ඇති බව විධායක කමිටු සාමාජිකයන්ගේ අදහස වී තිබේ.

මේ අතර, ජාතික ඔලිම්පික් කමිටුවට අනුබද්ධ සාමාජික ක්‍රීඩා සංගම් 33න් 16ක් පමණ යෝජනා කර ඇත්තේ සභාපතිවරයා සහ මහලේකම් අතර පවතින බල අරගලය සමථයකට පත් කිරීමට නම්, නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බවටයි.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව දැනටමත් ජාතික ඔලිම්පික් කමිටුව වෙත අනතුරු අඟවා ඇත්තේ ආචාර ධර්ම කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වන එහි උපදෙස් අනුව ක්‍රියා නොකිරීම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය දැඩි ප්‍රතිවිපාකවලට අත වැනීමක් බවයි.

පසුගිය වසර 15ක කාලය තුළ සිය තනතුරේ කටයුතු කරන ද සිල්වා දූෂණ චෝදනා මධ්‍යයේ ඉල්ලා අස්වන ලෙස කළ ඉල්ලීම් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.

ඔහුට එරෙහිව දැනටමත් නඩු දෙකක් අධිකරණය හමුවේ තිබේ.

42.31%
17.27%
32.76%