April 16, 2024

ඕස්ට්‍රේලියාවේ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් මේ වන විට පැවැත්වෙන IPL තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඊයේ පැවති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහූ මේ බව හෙළිකළේය.

ලබන ජුනි මාසයේ පැවැත්වෙන ICC විස්සයි 20 ලෝක කුසලානයට පෙර තමාට ‘මානසික හා ශාරීරික විවේකයක්’ ලබාගැනීම සඳහා ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියෙන් ඉවත්වී විවේකයක් ගැනීමට පියවර ගන්නා බව ඔහු පැවසුවේය.

මෙවර IPL තරගාවලියේ දී මැක්ස්වෙල් නියෝජනය කරන රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායම ඊයේ පැවති තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හමුවේ ලකුණු 25කින් පරාජය විය.

එම තරගයට ක්‍රීඩා නොකළ මැක්ස්වෙල්, එම තරගයෙන් පසුව තමන්ට කණ්ඩායමෙන් ඉවත්වීමට අවශ්‍ය බව කණ්ඩායම් කළමනාකාරීත්වයට දැනුම්දුන් බව ජනමාධ්‍ය හමුවට එක්වෙමින් කියාසිටියේය.

35 හැවිරිදි මැක්ස්වෙල් මෙවර IPL තරග වාරයේදී තමන් ක්‍රීඩාකළ ඉනිම හයකිදි රැස් කරනු ලැබුවේ ලකුණු 32ක් පමණි.

ඉහළ ශ්‍රේණිගත කිරීමක් සහිත රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම මෙවර IPL තරගාවලියේ තරග 7 කින් එක් ජයග්‍රහණයක් පමණක් ලබාගෙන ලකුණු සටහනේ පහළම මට්ටමේ පසුවේ.

ලබන ජුනි මාසයේදී ඇමරිකාවේ සහ කැරිබියන් දුපත් හි පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටුකිරීමට සූදානම්වීමට මැක්ස්වෙල් මෙලෙස RCB කණ්ඩායමෙන් ඉවත් කරන ලෙස කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් ඉල්ලා සිට ඇති බව සඳහන් වේ.