December 4, 2023

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ විදේශීය නිෂ්පාදිත ගිනිඅවි සහ හෙරොයින් සොරාගෙන දකුණේ ක්‍රියාත්මක පාතාල කල්ලිවලට රුපියල් ලක්ෂ ගණනකට විකුණන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම අධිකරණයේ බහුකාර්ය සංවර්ධන සහායකයකු, ඊට අනුබල අයකු ඇතුළු තිදෙනකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පෙරේදා (02) අත්අඩංගුවට ගෙන ඇත.

සොරාගන්නා ලද ගිනි අවි සහ හෙරොයින් විකිණීමට ආධාර අනුබල දුන් බව පැවැසෙන පුද්ගලයකු සහ නඩු භාණ්ඩ කාමරයෙන් සොරාගත් විදේශයේ නිෂ්පාදිත රිවෝල්වරයක් රුපියල් දෙලක්ෂ අසූ දහසක මුදලකට මිලදී ගත් බව කියන ධීවර බෝට්ටු හිමිකරුවකු මෙලෙස අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප පුවත්පතට’ පවසා ඇත.

ඔහු සන්තකයේ තිබී එම රිවෝල්වරය ද පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර දික්වැල්ල ප්‍රදේශයේදී පාතාලයට සම්බන්ධ යැයි කියමින් පසුගිය අගෝස්තු 08 වැනිදා වැටළීමක් කර අත්අඩංගුවට ගත් සැකකරුවකු ළඟ තිබී සොයා ගත් ටී 56 ස්වයංක්‍රීය ගිනි අවිය ද මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයෙන් සොරාගන්නා ලද එකක් බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි එම නිලධාරියා පවසයි.

එය ගිනි අවිය යොදාගෙන දික්වැල්ල ප්‍රදේශයේ දී මිනිස් ඝාතනයක් සිදුකර ඇති බවද පොලීසිය සඳහන් කරයි.

එම ගිනි අවිය රුපියල් එක්ලක්ෂ පනස් දහසක පමණ මුදලකට සැකකාර බහුකාර්ය සංවර්ධන සහායකයාගෙන් මිලදී ගෙන ඇති බවත්, ඒ සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවකුද හවුල් වී ඇති බවත්, පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී ඇතැයි කියති.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබී සොරාගත් බව කියන විදේශීය නිෂ්පාදිත තවත් ගිනිඅවි දෙකක් දකුණේ පාතාල කල්ලි සාමාජිකයන්ට රුපියල් ලක්ෂ ගණනක මුදලකට විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, එම ගිනි අවි මිලදී ගත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ද මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පරීක්ෂණ පවත්වයි.

මේ අතර මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙකක් අස්ථානගතවී ඇති බවට එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල ධම්මික සහ උප පොලිස් පරික්ෂක සංජීව ඇතුළු පොලිස් කණ්ඩායමක් විමර්ශනයක් ආරම්භ කර ඇත.

නඩු භාණ්ඩ කාමරයේ තිබූ ගිනි අවි ද සොරාගෙන ගොස් පාතාලයට රුපියල් ලක්ෂ ගණනක මුදලට විකුණා ඇති බවට තොරතුරු එම විමර්ශනයේදී අනාවරණය කරගැනීමට හැකිවිණි යැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ සොරාගෙන ගොස් තිබූ හෙරොයින් පාර්සල් දෙක රුපියල් එක්ලක්ෂ පනස් දහසක පමණ මුදලකට විකුණා ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැනගැනීමට ඇත.

සැකකාර බහුකාර්ය සංවර්ධන සහයකයාගෙන් හෙරොයින් මිලදීගත් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.

සැකකරුවන් තිදෙනා දින 07ක රැදවුම් නියෝග යටතේ රඳවාගෙන පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවෝ දික්කවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.