March 10, 2025

කැනඩාවේ හිටපු මහබැංකු ප්‍රධානියකු වන මාර්ක් කාර්නි එරට පාලක ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා පැවැති ඡන්ද විමසීමෙන් ජයලබා තිබේ.

ඒ අනුව, ධූරයෙන් නික්ම යන වත්මන් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගෙන් පසුව කැනඩාවේ අගමැති ධුරයට ඔහු පත්වනු ඇතැයි වාර්තා වේ.

අසල්වැසි අමෙරිකාවේ දිගුකාලීන මිත්‍රයකු වන කැනඩාවේ මුල් පුටුව සඳහා මෙලෙස නව නායකයකු පත්වන්නේ දෙරට අතර වෙළඳ යුද්ධයක් පවතින පසුබිමක් තුළය.

කැනඩාවේ කැළඹිලි සහිත කාලයකදී කාර්නි බලයට පත්වනු ඇති අතර එමෙන්ම ඔහු ඉක්මනින් මහමැතිවරණයක් පැවැත්විය යුතුය.

59 හැවිරිදි කාර්නි, පක්ෂ සාමාජිකයන් 152,000කට වඩා අඩුවෙන් ඡන්දය ප්‍රකාශ කළ තරඟයකදී හිටපු මුදල් ඇමතිනී ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් පරාජය ක‍ර ඇත්තේ ප්‍රකාශිත ඡන්ද වලින් 86%ක් ලබාගෙනය.

ඒ අනුව, කැනඩාවේ මීළඟ අගමැති මාර්ක් කාර්නි, ජස්ටින් ටෘඩෝගේ අනුප්‍රාප්තිකයා වීමේ තරඟය ජයග්‍රහණය කිරීමෙන් පසු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි වෙළඳ යුද්ධය ජයග්‍රහණය කරන බවට සපථ කර තිබේ.

“ඇමරිකානුවන් කිසිදු වැරැද්දක් නොකළ යුතුය: වෙළඳාමේ දී, හොකී ක්‍රීඩාවේදී මෙන්, කැනඩාව ජයග්‍රහණය කරනු ඇත,” හිටපු එංගලන්ත බැංකු අධිපතිවරයෙකු ද වන මාර්ක් කාර්නි සිය ආධාරකරුවන්ට පවසා ඇත.

එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ කැනඩාවේ නව අගමැති ලෙස දිවුරුම් දෙන කාර්නි අවධාරණය කර ඇත්තේ, ඇමරිකානුවන් අපට ගෞරව කරන තෙක් එක්සත් ජනපද භාණ්ඩ සඳහා පළිගැනීමේ තීරුබදු පනවන බවයි.

කිසිදිනෙක දේශපාලන නායකත්වයක් සඳහා මෙන්ම කැබිනට් මණ්ඩලය සඳහා ද තේරී පත්වී නොමැති කාර්නි, ඔහු ඉදිරිපත්වූ පක්ෂ නායකත්ව තරඟයෙන් පහසුවෙන් ජයග්‍රහණය කළේය.

ඔහු සිය නායකත්වය යටතේ මහමැතිවරණය ඔක්තෝබර් 20 වන විට පැවැත්විය යුතුව තිබේ.

වරෙක් මාර්ක් කාර්නි, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව හඳුන්වා දී තිබුණේ ‘වෝල්ඩමෝර්’ ලෙසයි.

‘වෝල්ඩමෝර්’ යනු ලෝක ප්‍රකට හැරී පෝටර් කතාමාලාවේ එන දුෂ්ට චරිතයකි.