July 19, 2024

ලොව පුරා රටවල් රැසක සේවාවලට දැඩි බාධා මතුව තිබෙනවා.

ඒ, අමෙරිකාවේ සයිබර් ආරක්ෂණ සේවා සපයන ආයතනයක මතුවී ඇති තාක්ෂණික දෝෂයක් හේතුවෙන්.

මේ හේතුවෙන් ලොව පුරා බැංකු , ගුවන්තොටුපොළ මෙහෙයුම්, ගුවන් ගමන්, මාධ්‍ය විකාශන කටයුතු, සුපිරි වෙළඳසැල්, රෝහල් ඇතුළු සේවා රැසකට බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ ගැටලුව ඇති වීමට හේතුව බවට මේ වනවිට සැක මතුව ඇත්තේ අම‍ෙරිකාවේ CROWD STRIKE සමාගමේ ෆැල්කන් නැමති මෘදුකාංගයක හටගත් තාක්ෂණික ගැටලුවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ලොව ප්‍රමුඛ පෙළේ මෙහෙයුම් සමාගමක් වන Microsoft සමාගමේ වින්ඩොස් ඇතුළත් පරිගණකවල සයිබර් ආරක්ෂණය සඳහා බහුලව භාවිත කරන්නේ ෆැල්කන් නැමති අදාළ මෘදුකාංගය බවයි පැවසෙන්නේ.

අද එහි යාවත්කාලීන කිරීමක් සිදුකර තිබෙනවා.

එහිදී මෙම ගැටලුව මතුව ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ , මේ හේතුවෙන් වැඩිම බලපෑම සිදුව ඇත්තේ ඔස්ට්‍රේලියාවට බවයි.

ඉන්දියාව, ජපානය, කැනඩාව, බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව ඇතුළු රටවල් රැසකට ද, මින් බලපෑම් එල්ල වී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ සේවා අඩාල වීම් රැසක් වාර්තා වුණා.

එම වාර්තා අනුව බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙළේ දුම්රිය සේවා සමාගම් කිහිපයක කටයුතු බිඳ වැටුණා.

තාක්ෂණික ගැටළු හේතුවෙන් සේවා සඳහා බාධා එල්ල වන බව එම සමාගම් නිවේදනය කර තිබෙනවා.

ජර්මනියේ බර්ලින් ගුවන් තොටුපල ද සේවා බිඳ වැටුනු ස්ථාන අතර වනවා.

ස්පාඤ්ඤයේ සියලුම ගුවන් තොටුපල වල තාක්ෂණික ගැටලු මතුව ඇති අතර ඉක්මනින් බාධා මග හරින බවයි ඔවුන් පවසන්නේ.

ඔස්ට්‍රේලියාවේ සේවා රැසක් බිඳ වැටී ඇති අතර ටෙල්ස්ට්‍රා නම් විදුලි සංදේශ සමාගම ඒ අතරින් ප්‍රමුඛයි.

සිඩ්නි ගුවන් තොටුපල කටයුතු ද සම්පූර්ණයෙන් බිඳ වැටී ඇතැයි සඳහන්.

අමෙරිකාව පදනම් කර ගත් යුනයිටඩ්, ඩෙල්ටා සහ ඇමරිකන් එයාලයින්ස් සමාගම්වල සියලු කටයුතු බිඳ වැටී ඇතැයි සඳහන්.

දැනට සිදු කෙරෙන ගුවන් ගමන් හැරුණුකොට නව ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එංගලන්තයේ ස්කයි පුවත් සේවය සම්පූර්ණයෙන් කටයුතු අත්හිටුවා තිබූ අතර මේවනවිට යළි සේවා පවත්වා ගෙනයාමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

බ්‍රිතාන්‍යයේ ගුවන් තොටුපල රැසක කටයුතු අකර්මණ්‍ය වී තිබෙනවා. ඒ ගැට්වික් හා ලූටන් ගුවන් තොටුපල ද ඇතුළුවයි.

බ්‍රිතාන්‍යයේ ඖෂධ සැපයුම් හල් රැසක ද මෙහෙයුම් අඩාල වී ඇතැයි සඳහන්.

මේ අතර යුරෝපයේ ලුෆ්තන්සා ඇතුලු ගුවන් තොටුපල රැසක පරිගණක මෙහෙයුම් අඩාල වීම හේතුවෙන් මගීන් පීඩාවට පත්ව ඇතැයි වාර්තා වුණා.

ජර්මනියේ ප්‍රධාන රෝහල් දෙකක් අත්‍යවශ්‍ය නොවන සේවාවලින් ඉවත් වී තිබෙනවා.

ප්‍රංශයේ පැරිස් ඔලිම්පික් තොරතුරු තාක්ෂණ පද්ධතිය ද දෝෂයට ලක්ව ඇතැයි ස‍ඳහන්.

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හි චිපෝල් ගුවන් තොටුපලේ කටයුතු ද මෙම තාක්ෂණික දෝෂයට මුහුණ පා තිබෙනවා.

පෝලන්තයේ විශාලතම බහාලුම් පර්‍යන්තයේ කටයුතුවක ද මේ ඔස්සේ බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ වනවිට වාර්තා වන පරිදි ලොව පුරා ගුවන් ගමන් 1000 ක් පමණ මේවනවිට සම්පූර්ණයෙන් ඇණහිට තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවා පද්ධතියේ පරිගණක මෙහෙයුම් සඳහා ද බාධා එල්ල වී ඇති අතර රෝගීන්ගේ සේවා කටයුතු සිදු කිරීමට කාර්යය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දරණ බව සඳහන්.

මේ අතර මයික්‍රොසොෆ්ට් සමාගම පැවසුවේ ව්න්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ හටගත් දෝෂය ඉකමනින් හඳුනාගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
(දියත තතු)