June 7, 2024

පොලිස් භෝජනාගාරවලට ලැඛෙන සහල් සහ සිල්ලර භාණ්ඩ අඩු මුදලට ලබාදිය හැකි බව පවසා කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් රැසක් මුළාකරමින් සංවිධානාත්මක කල්ලියක් මෙහෙය වූ උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනීසිටි පොලිස් සැරයන්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි.

අත්අඩංගුවට ගැනුණ පොලිස් සැරයන්වරයා කොටුව පොලිසියට අනුයුක්ත මුදල් අමාත්‍යාංශ මුරපොළේ රාජකාරී කරන නිලධාරියකු බවත් තවත් වසර දෙකකින් විශ්‍රාම යාමට නියමිත අයකු බවත් පොලිසිය සඳහන් කරයි.

රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට දුරකථන ඇමැතුමක් ලබාදී තමන් දෙමටගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක හේරත් නිලධාරියා බව පවසමින් ව්‍යාජ හිතවත්කමක් ඇති කරගෙන දෙමටගොඩ පොලිසියේ භෝජනාගාරයට ලැබෙන බිත්තර තොගයක් ඉතා අඩු මුදලට ලබා දියහැකි බව පවසා එම ව්‍යාපාරිකයා කැමැති කරවාගෙන බිත්තර තොගය ලබාදීමට දෙමටගොඩට ගෙන්වා ගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.

ව්‍යාපාරිකයා බිත්තර තොගය රැගෙන යාම සඳහා ලොරියක් ද සූදානම් කරගෙන දෙමටගොඩට පැමිණීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි සෙසු සැකකරුවන් දෙදෙනා ලොරියට ගොඩ වී මඳ වේලාවක් කතාබස් කරමින් සිට ඔහු රැගෙන පැමිණි රුපියල් 800000/= ක මුදල ලබාගෙන බිත්තර රැගෙන එනතුරු ලොරිය දෙමටගොඩ ප්‍රදේශයේම ස්ථානයක් පවසා නතරකර තබාගන්නා ලෙස දන්වමින් එම මුදලුත් රැගෙන පළාගොස් තිබූ බව පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා දෙමටගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති කපිල බණ්ඩාර සංවිධානාත්මක කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා ව්‍යාපාරිකයාගෙන් දුරකථන අංකය ලබාගෙන දින කීපයකට පසු ව්‍යාපාරිකයකු ලෙස සූක්ෂම අයුරින් ඇමතුමක් දී රුපියල් 20000/= බිත්තර ඇනවුමක් ලබාදීමට කටයුතු කිරීමෙන් අනතුරුව බිත්තර ලබාදීමට දෙමටගොඩට පැමිණෙන ලෙස සැකකරුවන් දැනුම් දී තිබූ බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව රැකවල්ලා සිටි පොලිසිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම කොටුව පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයා විසින් මෙහෙය වන බවට අනාවරණය වීමෙන් අනතුරුව සැකකරුවන් ලවාම “සාජන් මහත්තයා අපි බිත්තර ගේමක් ගැහුවා (දෙමටගොඩ ප්‍රදේශයේ හෝටලයක නමක් පවසා) පොඩි පාටියකට සෙට් වෙලා ඉන්නේ එතනට එනවා දැ” යි දුරකථනයෙන් ඇමැතුමක් ලබාදීමට සැලසූ බව පොලිසිය කියයි.

ඇමැතුම ලබාදී විනාඩි දහයක් ගතවීමට මත්තෙන් සැකකාර සැරයන්වරයා හෝටලය වෙත පැමිණීමත් සමගම ඔහු ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිසිය සඳහන් කරයි.

සැකකාර සැරයන්වරයා මෙහෙය වූ කල්ලිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසියට අමතරව සැකකරු සේවය කළ කොටුව පොලිසියට ද මේ ආකාරයෙන් රුපියල් ලක්ෂ නවයක මුදල් වංචා සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි කියයි.

ඊට අමතර මරදාන, මාලිගාවත්ත, බොරැල්ල හා නාරහේන්පිට ආදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පොලිසිවලට ද පැමිණිලි රැසක් ලැබී ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැරයන්වරයා උඩුගම්පල, කෙහෙල්බද්දර ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකු බවත් සෙසු සැකකරුවන් දෙදෙනා මාළිගාවත්ත ප්‍රතිභා මාවත හා පෑලියගොඩ දුටුගැමුණු මාවත පදිංචි වයස අවුරුදු 44 හා 45 අතර පසුවන්නන් බවත් පොලිසිය කියයි. සැකකරුවෝ තිදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.(ලංකාදීප)

42.31%
17.27%
32.76%