November 27, 2024

“මම කිසිම දේකට සම්බන්ධ නෑ” – මනූෂ විජිතට ලියුමක් යවයි

කිසිදු විදේශ රැකියාවක් සඳහා තමා කිසිවකුගෙන් මුදල් ලබාගෙන නොමැති බවත්, එවැනි තත්වයක් තුළ දිගින් දිගටම එල්ල කරනු ලබන චෝදනාව තමාගේ දේශපාලන ජීවිතයට මෙන්ම පෞද්ගලික ජීවිතයටද අගතියක් බවත් හිටපු කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පවසයි.

නව විදේශ කටයුතු සහ විදේශ රැකියා පිළිබඳ ඇමැති විජිත හේරත් වෙත ලිපියක් යොමුකරමින් හිටපු ඇමැතිවරයා පවසන්නේ, විදේශ රැකියා ලබාදීම සඳහා කිසියම් පාර්ශවයක් සැබෑ ලෙසම මුදල් ලබාගෙන වංචාවක් සිදුකර ඇත්නම්, නිසි පරීක්ෂණයක් පවත්වා තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

“ගරු අමාත්‍යතුමනි, කිසිදු විදේශ රැකියාවක් සඳහා මම කිසිවෙකුගෙන් මුදල් ලබාගෙන නොමැත. එවැනි තත්වයක් තුළ මා වෙත දිගින් දිගටම එල්ල කරනු ලබන මේ චෝදනාව මගේ දේශපාලන ජීවිතයට මෙන්ම පුද්ගලික ජීවිතයටද අගතියකි. එසේම අප විසින් ණය පහසුකම් යටතේ විදේශ රැකියා සඳහා යොමු වීමට අවස්ථාව ලබාදුන් පුද්ගලයන්ගෙන් කිසියම් පාර්ශවයක් මුදල් ලබාගෙන ඇත්නම් එය බරපතල වරදකි. එවනි අවස්ථාවන් වෙතොත් ඒ පිළිබඳව නිසි පරීක්ෂණයක් පවත්වා ජනතාවගෙන් මුදල් ලබාගත් බව කියන පුද්ගයින් හට තරාතිරම නොතකා නීතිය ක්‍රියාත්මක කළයුතුව ඇත.” යනුවෙන් මනුෂ නානායක්කාර සිය ලිපියේ සඳහන් කර ඇත.

පහතින් දැක්වෙන්නේ හිටපු ඇමැතිවරයා යොමුකළ ලිපියයි.

42.31%
17.27%
32.76%