July 18, 2024

ත්‍රස්තවාදී සංවිධානයක් වුවද එල්ටීටීඊය වසර තිහක් පැවති යුද සමයේදී පාසල් වැසීමට ඉඩ නොදුන් අතර එම පළාත්වල ගුරුවරුන් බංකර් යට හිඳ හෝ දරුවන්ට අධ්‍යාපනය ලබා දුන් බවත් අන්තවාදී වෘත්තීය සමිතිවල තම දේශපාලන අවශ්‍යතා අනුව පාසල් 10,000ක් වසා දැමීම වීරත්වයක් කොට සලකන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද (18) මතුගමදී පැවසීය.

“උතුරේ ත්‍රස්තවාදී සංවිධානයක් වෙලත් එල්ටීටීඊය යුද්ධය අවුරුදු 30ක් තියෙද්දිත් පාසල් වහන්න දුන්නේ නෑ. ගුරුවරු කාණු කපලා, බැරල් ඇතුළේ දරුවන්ව තියාගෙන අධ්‍යාපනය දුන්නා. අපි ගුරු දෙවිවරුන් විදිහට තිබ්බ ගරුත්වයත් කෙලෙසගෙන. කවදාවත් පාසල් යන්නේ නැති සංගම්වල සභාපති ස්ටාලින්, මහින්ද ජයසිංහගේ දේශපාලන අවශ්‍යතා අනුව ගරුත්වය ඇති විදුහල්පතීන්, ගුරුවරුන් පාවිච්චි කරලා නිදහස් අධ්‍යාපනයට බරපතල කැළලක් ඇති කළා. ඔවුන්ගේ වීරත්වය වුණේ පාසල් 10,000ක් වැහුවා කියන එක තමයි. ඒ නිසා කන්න්නංගර උතුමන් අපි සිහි කරන්න ඕනේ.” යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කළුතර දිස්ත්‍රික් ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේ ‘විගමනික ශ්‍රමික හරසර’ වැඩසටහන වෙනුවෙන් සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසූ අතර රට ඉහළට ගැනීම සඳහා ජනතාව එක් දැවැන්ත මතයකට එළඹ ඇති බවද එහිදී හෙතෙම අවධාරණය කළේය.

“අද අපි පාට පක්ෂ භේදයෙන් තොරව එක් ආණ්ඩුවකට එකතු වෙලා තියෙනවා. අපි ඉස්සර ගහ මරාගත්තු අය. අද රාජ්‍ය නිලධාරීන් දේශපාලනය ගැන කල්පනා කරන්නේ නැතුව සියලු දෙනා එකට එකතු වෙලා ඉන්නවා – වැටිච්ච රට ගොඩගත්තා වගේම ඉස්සරහටත් රට ගොඩගන්න දැවැන්ත එක මතයකට මුළු රටේම මිනිස්සු ඇවිත් තියෙනවා.” කී අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී මෙසේද පැවසීය.

“මෙතන ඉන්න දරුවන්ගේ එක්කෝ අම්මා ළඟ නෑ, එක්කෝ තාත්තා ළඟ නෑ. අම්මයි තාත්තයි දෙන්නම ගෙදර ඉන්න ඕන දරුවෙක්ගේ පුංචි කාලේ. ඒත් මේ දරුවන්ට ඒ කැපවීම කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඔවුන්ගේ අම්මා හෝ තාත්තා පිටරට ඉඳගෙන රටට සල්ලි එවනවා දරුවන්ගේ අධ්‍යාපනය ගොඩ නගන්න, ආර්ථිකය ශක්තිමත් කරන්න, උගන්නලා හොඳ ලොකු මිනිහෙක් කරන්න. ඒ වගේම මේ රටට බැංකු පද්ධතිය හරහා සල්ලි එවලා මේ රටේ ආර්ථිකය ගොඩගන්න මේ අම්මලා තාත්තලා යුතුකම් ඉටු කරමින් දැවැන්ත හයියක් වෙනවා. 88 – 89 තරුණ කැරැල්ලක් ඇති වෙලා අපේ රටේ 60,000ක් මැරෙනකොට කොරියාව අයිඑම්එෆ් එකට ගිය රටක්. ඒ රටේ මිනිස්සු පිරටවරල ගිහින් ගෘහ සේවය කළා පමණක් නොවෙයි පසුව ව්‍යවසායකයෝ බවට පත් වුණා. එදා ඒ ප්‍රතිපත්ති වෙනස් කරලා අඩිය ඉස්සරහට තියලා ආයෙත් අයිඑම්එෆ් නොයන රටක් විදිහටයි කොරියාව ඉස්සරහට ආවේ. අද ලංකාවත් ඒ ගමනයි මේ පටන්ගෙන තියෙන්නේ. අපිට පක්ෂ දේශපාලනයවත් ජාති ආගම් කුල මල භේදයවත් නෙවෙයි ඕන කරන්නේ. රට ඉස්සරහට ගෙනියමු කියන මතයට රට ඇවිල්ලා තියෙනවා. පොදුජන පෙරමුණේ ආණ්ඩුව 69 ලක්ෂයක් ඡන්දේ දීලා හදපු ආණ්ඩුවක්. ඒ අය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කරන්න නෙමෙයි ඡන්දේ දුන්නේ. නමුත් මේ ජනතාවත් මන්ත්‍රීවරුනුත් තමන්ගේ දේ කැප කරලා, ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් ඇමතිකම් පවා කැප කරලා රට වෙනුවෙන් සියලු දෙනා එකට එකතු වෙච්ච ගමනක් අද තියෙන්නේ. මේ විදේශගත ශ්‍රමිකයින්ට රටට සල්ලි එවන්න එපා කියලා, රට වට්ටන්න ඕනි කියද්දි රට හදන්න ඕන, ගොඩ නගන්න ඕන කියන තැන ඉඳගෙන ඩොලර් බිලියන 12ක් එව්වා. ඒක පුංචි ගාණක් නෙමෙයි. ඒකයි අපි මේ වැඩසටහන ‘විගමනික හරසර’ කියලා නම් කරන්නේ. ඒකයි රට වටේම ගිහින් කිව්වේ විගමනික ශ්‍රමිකයො තමයි රටට හයිය දුන්නේ කියලා. ඒකයි අපි ඔවුන්ගේ පවුල්වල අයට සහාය දෙන්නේ. ඒ වගේම අපි විගමනික ශ්‍රමිකයින් අතරින් ව්‍යවසායකයින් ලක්ෂයක් හදන්න බලාපොරොත්තු වෙනවා. කොරියාවේ, ජපානේ, ඊශ්‍රායෙල්, මැදපෙරදිග, ඩුබායි ඉඳලා ඇවිත් එදා ව්‍යවසායකයෝ හැදුනා. අන්න ඒ වගේ වැඩපිළිවෙළකුත් එක්කයි අපි මේ රටේ අයව ගරුත්වයෙන් අරගෙන රට විරුවන් කියන නමටත් එහා ගිහින් මේ රට ගොඩ නගන කණ්ඩායම හැටියට ඔවුන් එක්ක ඉස්සරහට යන්නේ.”

42.31%
17.27%
32.76%