September 4, 2024

විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාසාත්මක ප්‍රකාශ කළ බව කියමින් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර නීතිමය පියවර ගෙන තිබේ.

ඒ අනුව පළමු පියවර ලෙස අසත්‍ය, පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කළ ආනන්ද සාගර හිමියන්ට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා මනුෂ නානායක්කාර සිය නීතීඥයන් මගින් ආනන්ද සාගර හිමියන් වෙත එන්තරවාසියක් යොමුකර ඇත.

අද (04) උදෑසන මනුෂ නානායක්කාර සිය නීතීඥයන් මගින් මෙම එන්තරවාසිය යවා ඇත.

හිටපු අමාත්‍යවරයාගේ ඥාතියෙකුට අයත් විදේශ රැකියා ඒජන්සියකින් විදේශ රැකියා සදහා පුද්ගලයන් යොමුකර ඇති බවටත්, ඒ මගින් කෝටි ගණනින් මුදල් උපයා ඇති බවට ආනන්දසාගර හිමියන් කර ඇති ප්‍රකාශවල කිසිදු පදනමක් නොමැති බව මනුෂ නානායක්කාර සිය නීතිඥයින් මගින් යොමුකරන ලද එන්නතරවාසියේ දැක්වේ.

මනුෂ නානායක්කාරගේ නම අවස්ථා කිහිපයකදීම සදහන් කරමින් චේතනාන්විතව අපහාස කිරීමේ අරමුණින් ආනන්ද සාගර හිමියන් විසින් ප්‍රකාශ නිකුත් කර තිබෙන බවද එන්තරවාසියේ සදහන් වේ.

මෙසේ අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාස කිරීමට කටයුතු කිරීමට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දිය දින 14ක් ඇතුළත ගෙවා අවසන් කරන ලෙසත්, එසේ නොවන්නේ නම් අධිකරණයේ නඩු පවරා වන්දි මුදල, ඊට අදාළ ආලාභ සහ නඩු ගාස්තු අය කරගැනීමට කටයතු කරන බවද මනුෂ නානායක්කාර සිය නීතීඥයන් මගින් යොමු කළ එන්තරවාසියේ වැඩිදුරටත් සදහන් වේ.