January 9, 2025

දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ලබාදී ඇති E 9 සහ E 7 යන වීසා කාණ්ඩයන් සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළකළේය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ E 9 කාණ්ඩයේ වීසා නිකුත්කරනු ලබන්නේ දකුණු කොරියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර එළඹුනු අවබෝධතා ගිවිසුමක් අනුව බවයි.

එමෙන්ම E 7 වර්ගයේ වීසා නිකුත් කරන්නේ වෘත්තිකයන් සඳහා බව ද අමාත්‍යවරයා පැවසුවේය.

එහෙත් මතභේදයට තුඩු දී ඇති E 8 වීසා කාණ්ඩය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය දැනුවත්වීමක් හෝ මැදිහත්වීමක් නොමැති බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ පැවසීය.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර් යංශයේ ලියාපදිංචිවීමක් සිදුනොවන බැවින් එම වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාව වෙත පිටත්ව ගිය පුද්ගලයන් සංඛ්‍යාව කොපමණදැයි නොදන්නා බව අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවට අද හෙළිකළේය.

අමාත්‍යවරයා පැවසුවේ එම කාණ්ඩය යටතේ කොරියාවට ගිය ශ්‍රමිකයන් විපතට පත්වූවේ ද යන්න පවා අනාවරණ කර ගත නොහැකි බවයි.

ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ විදේශ සේවා නියුක්ති කාර්යංශයට මැදිහත්වීමක් සිදුකළ හැක්කේ එම කාර්යංශය යටතේ ලියාපදිංචි වී නීත්‍යානුකූල ලෙස රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන් සඳහා පමණක් බවයි.

එමෙන්ම වත්මන් රජය යටතේ E 8 නු පිළිගත් වීසා කාණ්ඩයක් නොවන බවද අමාත්‍යවරයා පැවසුවේය.

අමාත්‍යවරයා පැවසුවේ වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ E 9 සහ E 7 වීසා කාණ්ඩ පමණක් බවයි.

සාමාන්‍ය ක්‍රියාපටිපාටිය යටතේ විදේශ රැකියා සඳහා ශ්‍රමුකයන් පිටත් කර හරින විට අදාළ රට සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන බවත්, එට ගිවිසුම විදේශ අමාත්‍යංශය හරහා රජයට ඉදිරිපත් වූ විට කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යොමුකරන බවත්, එවැනි අනුමැතියක් නොමැතිව කිසිඳු අවබෝධතා ගිවිසුමක් වලංගු නොවන බවත් අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවට පැහැදිළි කළේය.

අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව මෙම E 8 වීසා කාණ්ඩයට අදාළ අවබෝධතා ගිවිසුම නීතිවිරෝධී අවබෝධතා ගිවිසුමක් බවයි.

2024 අප්‍රේල් මස 26 වනදා එවකට හිටපු කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර එවැනි ගිවිසුමක් අත්සන් කර ඇති බව ද අමාත්‍යව විජිත හේරත් පාර්ලිමේන්තුවට පැවසුවේය.

ශ්‍රී ලංකා පර්ශවයෙන් ගිවිසුම සඳහා අමාත්‍ය මනූෂ නානායක්කාර අත්සන් තබා ඇති බවත්, කොරියානු පාර්ශවය වෙනුවෙන් එරට ප්‍රාන්තයක් වන වන්දෝ හි නගරාධිපතිවරයා අත්සන් තබා ඇති බවත් අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයේදී අනාවරණ කෙරිණි.

අදාළ ගිවිසුම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නොමැති වුවද, එය කම්කරු අමාත්‍යංශය තුළ අවිධිමත් ලෙස තිබියදී සොයාගැනුණු බව ද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම එහිදී අමාත්‍යවරයා පැවසුවේ මෙම ගිවිසුම විහිළුසහගත බවයි.

රජයක කැබිනට් අමාත්‍යවරයකු මෙවැනි ගිවිසුමකට අත්සන් තැබීම ඓතිහාසික බවත්, ඊට හේතුව වන්නේ ගිවිසුමේ මාතෘකාව ලෙස කොරියාව සහ ශ්‍රී ලංකාව ලෙස දක්වා තිබුණ ද, එහි ඇතුළත පිටුවල සටහන් කර ඇත්තේ කොරියාව සහ පාකිස්ථානය ලෙස බව අමාත්‍යවරයා පැවසුවේය.

ඒ අනුව එම ගිවිසුම නීතිවිරෝධී බවත්, එහි ඇත්තේ පාකිස්ථානය සහ දකුණු කොරියාව අතර අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමේ යම් යම් ස්ථානවල කොටස් කිහිපයක් වෙනස් කිරීමක් බව ද අමාත්‍යවරයා පැවසීය.

ගිවිසුමේ ස්ථාන කිහුපයක පමණක් ශ්‍රී ලංකාව ලෙස සටහන් කර තිබුණද බොහෝ ස්ථානවල පවතින්නේ පාකිස්තානය ලෙස බව ද අමාත්‍ය විජිත හේරත් අනාවරණය කළේය.

42.31%
17.27%
32.76%