April 24, 2025

මෙරට හිටපු දේශපාලඥයකු වන මංගල සමරවීර සතුව තිබූ පොත් එකතුවක් කොළඹ මහජන පුස්තකාලයට පරිත්‍යාග කර තිබේ.

ඔහුට අයත්ව තිබූ පෞද්ගලික පුස්තකාලයෙන් පොත් 100කට අධික සංඛ්‍යාවක් එලෙස පරිත්‍යාග කර ඇති අතර එම පරිත්‍යාගය නිල වශයෙන් භාරගෙන තිබුණේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් විසිනි.

හිටපු දේශපාලඥ මංගල සමරවීරගේ පවුලේ සාමාජිකයන් විසින් සිදුකළ මෙම පරිත්‍යාගයෙන් මංගලගේ දැනුම, ඉගෙනීම සහ සංවාදය පිළිබඳ නොසැලෙන විශ්වාසය පිළිබිඹු කරන බව සිය ‘X’ ගිණුමෙහි පණිවිඩයක් තමබින් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් පවසයි.

මංගල සමරවීර යනු මෙරට සිටි වඩාත්ම දූරදර්ශී, ප්‍රතිපත්තිගරුක සහ ඉදිරිය පිළිබඳ සිතන නායකයෙකු බව ද ඔහු පවසයි.

එමෙන්ම ඔහුගේ බුද්ධිමය කුතුහලයේ සහ ප්‍රගතිශීලී චින්තනයේ උරුමය ඉදිරි පරම්පරාවන්ට දිරිගැන්වීමක් ලබාදෙන බව සහතික කරන මෙම අර්ථවත් පරිත්‍යාගය වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට හෘදයාංගම කෘතඥතාව පුදකරන බව ද බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සිය X සටහනෙන් පවසයි.