September 3, 2024

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ තැපැල් දුම්රියේ දී සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ දී පුද්ගලයකුට තුවාල සිදුකර කලහකාරි ලෙස හැසිරුණේ යැයි කියන යුද හමුදා සෙබළු 8 දෙනකු පෙරේදා (1) බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ දියතලාව යුද හමුදා විද්‍යා පීඨයට අයත් පොල්ගහවෙල, කහටගස්දිගිලිය, කඹුරුපිටිය, ආඬිගම, බිබිල, තලංකැටිය, අත්තනකඩවල සහ ගලේවෙල ප්‍රදේශවල පදිංචි අවුරුදු 25 ත් 33 ත් අතර යුද හමුදා සෙබළුන් පිරිසක් බව පොලිසිය පවසයි.

මෙම සෙබළුන් පිරිස ප්‍රියසම්භාෂණ අවස්ථාවකට සහභාගි වී බදුල්ල කොළඹ දුම්රියේ දියතලාව බලා පැමිණ ඇති අතර ඔවුන් දුම්රියේ ද කලහකාරි ලෙස ද හැසිරි ඇති බව පොලිසිය පවසයි.

එහිදී මෙම සෙබළුන් පිරිස දුම්රිය මගියකු සමග ආරවුලක් ඇති කරගෙන මගියාට පහර දී තිබූ බවත් පොලිස් විමර්ශන වල දී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසියට ලද තොරතුරු අනුව නිලධාරීහු කණ්ඩායමක් බණ්ඩාර වෙල දුම්රිය ස්ථානයට පැමිණ යුදහමුදා සෙබළුන් අටදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම යුදහමුදා සෙබළුන් පිරිස දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන නොතිබුණු බව ද විමර්ශන වලදී අනාවරණය වී ඇත.