November 8, 2024

මිනිස් ජාවාරම් පිළිබඳ සිද්ධියකදී, තම බිරිඳගේ ගමන් ලියකියවිලි සමඟ නාඳුනන කාන්තාවක් ඉතාලියට ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ පුද්ගලයකු ගුවන් තොටුපොළේ දී ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් නතර කර ඇත.

බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ ස්ථානගත කර ඇති ආගමන නිලධාරීන් බදාදා රාත්‍රියේ අහඹු සෝදිසි කිරීමක් සිදුකර ඇති අතර එහිදී සැකපිට යුවළක් ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගොස් තිබේ.

කොළඹ සිට කටාර් ගුවන් සේවයට අයත් QR 655 දරන ගුවන් යානයෙන් මෙම යුවළ දෝහා හරහා ඉතාලියේ මල්පෙන්සා බලා පිටත්ව යෑමට පැමිණ ඇති බව වාර්තා වේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා නිරීක්ෂණ ඒකකයේ (BSU) නිලධාරීන් විසින් ලියකියවිලි පිරික්සා බැලීමේදී, එම කාන්තාව සතුව විදේශ ගමන් බලපත්‍රයක් සහ ඉතාලි ස්ථිර පදිංචි වීසා කාඩ්පතක් ඇතුළු වෙනත් අයෙකුගේ ගමන් ලියකියවිලි ඇති බව සොයාගෙන තිබේ.

ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා ඇත්තේ, තමන් සමඟ පැමිණි පුද්ගලයා තමාව ඉතාලියට රැගෙන යෑමට පොරොන්දු වී ඇති බවත්, ඒ සඳහා කුරුණෑගල ප්‍රදේශයේ සංචාරක නියෝජිතයකුට රුපියල් ලක්ෂ 36ක් ගෙවා ඇති බවත්ය.

නිලධාරීන් 40 හැවිරිදි පිරිමි පුද්ගලයාගෙන් ප්‍රශ්න කළ විට හෙළිව ඇත්තේ, ඔහු ඉතාලියේ ස්ථිර පදිංචිකරුවෙකු බවත්, බිරිඳගේ ගමන් ලියකියවිලි යටතේ කාන්තාව ප්‍රවාහනය කිරීම සඳහා නියෝජිතයෙකුගෙන් මුදල් ගාස්තුවක් ලබාගෙන ඇති බවත් ය.

මූලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ, මෙම පිරිමි පුද්ගලයා පසුගියදා නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඔහු සිය බිරිඳගේ ගමන් ලියකියවිලි රැගෙන මිනිස් ජාවාරමට පහසුකම් සැලසීම සඳහා රුපියල් ලක්ෂ 20ක ගාස්තුවක් අයකර ඇති බවයි.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාව සහ මෙම පිරිමි පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා ගුවන් තොටුපොළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය වෙත භාර දී ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

42.31%
17.27%
32.76%