42.31%
17.27%
32.76%
October 2, 2023

මල්වතු මහනායක හිමියන් ලෙස පෙනී සිට දුරකථන ඇමතුම් ඔස්සේ විදේශ රැකියා ලබාදෙන බව පවසමින් දිවයින පුර මහා පරිමාණයෙන් මුදල් වංචා කළ පුද්ගලයෙක් නුවරඑළිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචි පිළිමතලාව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින 51 හැවිරිදි අයෙක් බව පොලිසිය සඳහන් කරයි.

නුවරඑළිය සඳතැන්න ප්‍රදේශයේ පුද්ගලයෙක්ගෙන් වංචනික ලෙස රුපියල් 1,37,000ක මුදලක් ලබාගත් බවට ලද පැමිණිල්ලක් අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

ජාතික පුවත්පතවල පළවන ඉඩම් හා දේපළ විකිණීම් සම්බන්ධ දැන්වීම් අනුසාරයෙන් ධනවත් පුද්ගලයන්ගේ දුරකථනවලට ඇමතුම් ලබාගනිමින් ”තෙරුවන් සරණයි” යැයි පවසා දුරකථන ඇමතුම ආරම්භ කර, තමන් මල්වත්තේ මහා නායක ස්වාමින්වහන්සේ ලෙස පවසමින් මෙම වංචාවන් සිදුකර ඇති බව පොලිසිය සඳහන් කර තිබේ.

ඔහු තමන්ගේ සහෝදර සහෝදරියන් ඕස්ට්‍රේලියාවේ පදිංචි බවත්, තම මිතුරෙක්
ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්වරයා බවත්, පවසා සූක්ෂම ලෙස එම පුද්ගලන් සමඟ හිතවත්කමක් ගොඩනගා ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

එම හිතවත්කම මත ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඕස්ට්‍රේලියාවේ රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා යොමුකළ හැකි බවත්, ලියාපදිංචි ගාස්තු වශයෙන් රුපියල් 1,37,000ක මුදලක් ගෙවිය යුතු බවත්, පවසා එම මුදල් සැකකරු සතු බැංකු ගිණුම් වෙත ගෙන්වා ගෙන ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

බොහෝ අවස්ථාවලදී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙසද පෙනී සිට දුරකථන ඇමතුම්වලට පිළිතුරු ලබාදීමටද මෙම පුද්ගලයා කටයුතු කර ඇති බව විමර්ශනවලදී හා සාක්ෂි සටහන් කරගැනීමේදී අනාවරණය වී තිබේ.

එලෙස මුදල් ගෙන්වා ගැනීමේදී සැකකරු විසින් ජාතික හැඳුනුම්පත් ගෙන්වාගෙන ඇති අතර, එම හැඳුනුම්පත්වල පිටපත් ලබා දී සිම්පත් 100ත් 120ත් අතර සංඛ්‍යාවක් මිලදී ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඔහු අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී ජංගම දුරකථන 11ක්, ටැබ් යන්ත්‍රයක්, අන්තර්ජාල සැපැයුම් උපකරණ, බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කළ රිසිට්පත්, විවිධ නම්වලින් සැකැසූ නිල මුද්‍රා තොගයක්, දුරකථන අංක ලියා ඇති පොත් කිහිපයක් සහ විවිධ පුද්ගලයන්ගේ නම්වලින් සැකසූ විසිටින් කාඩ් පත් විශාල සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන ඇත.

එමෙන්ම ව්‍යාජ ලෙස සැකැසූ ජාතික හැඳුනුම්පත් කිහිපයක් භාවිත කරමින් බැංකු ගිණුම් 15කට ආසන්න සංඛ්‍යාවක් මොහු පවත්වාගෙන ගොස් තිබේ.

ව්‍යාජ ජාතික හැඳුනුම්පත් භාවිත කරමින් විවාහ කිහිපයක් සිදුකරගෙන ඇති බවත්, එම විවාහයන්ගෙන් ඔහුට දරුවන් සිටින බවත් පොලිසිය සොයාගෙන ඇත.

වංචනික ලෙස උපයන මුදලින් එම කාන්තාවන් සමඟ සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇති බවට තොරතුරු තහවුරු කර ගැනීමට ද නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය සමත් වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය 28 වැනිදා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුවරඑළිය වැඩ බලන මහේස්ත්‍රාත් කේ.ඩී. විජේවික්‍රම නියෝග කර ඇත.

42.31%
17.27%
32.76%